death-of-mahawa-businessman-whose-body-was-found-in-a-jeep-in-the-jungle-was-a-murder-autopsy-reveals

 මහව, දියබැටේ ප්‍රදේශයේ කැලෑවක නවතා තිබූ ජීප් රථයක් තුළ පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය, වයරයක් වැනි දෙයකින් ගෙල සිර කිරීමෙන් සිදු වූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ කමල් කුරුප්පු නමැති 50 හැවිරිදි, එක්දරු පියෙකි. 



කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා විසින් සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, ව්‍යාපාරිකයා රියදුරු අසුනේ සිටියදීම පිටුපස අසුනේ සිටි අයෙකු විසින් ගෙල සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පසුව සාක්ෂි වසන් කිරීමේ අරමුණින් ජීප් රථය තුළදීම සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇතත්, රථයේ වීදුරු වසා තිබීම නිසා දහනයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මළ සිරුර සම්පූර්ණයෙන්ම දැවී ගොස් නොමැති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.



මීට පෙර, පසුගිය 25 වන දින, කොණ්ඩය කපා ගැනීම සඳහා බව පවසා කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගිය මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබිණි. ඔහු නැවත නිවසට නොපැමිණීම නිසා පසුදින ඔහුගේ සොහොයුරෙකු විසින් දොරටියාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් අනතුරුව මහව ප්‍රදේශයේ තිබී ඔහුගේ මඳක් දැවී ගිය මළ සිරුර සොයා ගැනිණි. ව්‍යාපාරිකයා සැලුන් රථයකින් පිටව යන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබී ඇත.

මෙම ඝාතනය මුදල් කොල්ලකෑමේ අරමුණින් සිදු කරන්නට ඇති බවට පොලීසිය ප්‍රබලව සැක කරයි. ඝාතනයට ලක් වූ දිනයේ ව්‍යාපාරික අවශ්‍යතාවයක් සඳහා රන් භාණ්ඩ උකස් කර ලබාගත් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් ඔහු සතුව තිබී ඇති බවට තොරතුරු වාර්තා වේ. එම මුදලට අමතරව, ව්‍යාපාරිකයා නිරන්තරයෙන් පැළඳ සිටි වටිනා රන් මාලයක් සහ රන් අත් පළඳනාවක් ද මළ සිරුරේ තිබී හමු වී නොමැත.

ව්‍යාපාරිකයා සතුව මෙම මුදල ඇති බව හොඳින් දැන සිටි, ඔහු සමීපව ඇසුරු කළ පිරිසක් මෙම අපරාධය පිටුපස සිටිය හැකි බවට පොලීසිය අනුමාන කරන අතර, සැකකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු ලැබී ඇති බව සඳහන්ය. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවයි.



සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලීසියට නියෝගයක් නිකුත් කළ මහව මහේස්ත්‍රාත් නර්තනී කංචනී අභිමානි සෙනෙවිරත්න මෙනෙවිය, මෙය ඝාතනයක් ද යන්න තහවුරු කරගෙන, සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ. මියගිය පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජීප් රථයේ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුවය.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුගේ දියණියක සමග විවාහ වී සිටි කමල් කුරුප්පු මහතා, කුරුණෑගල-නුවර පාරේ හෝටලයක් සහ බර වාහන අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය, ප්‍රදේශයේ කා අතරත් සුහදව කටයුතු කළ අයෙකු වීම හේතුවෙන් මෙම ඝාතනය මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

gossiplanka image 2


gossiplanka image 3