
බිරිඳට පහර දීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැමියෙකු, මනුෂ්‍ය ඝාතනයකට මරණ දඬුවම නියමව සිටි පලා ගිය අයෙකු බවට ගොවිඳුපුර පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අනාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරු, සිය බිරිඳ සහ නව හැවිරිදි දියණිය සමඟ මෑතකදී ගොවිඳුපුර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ ඇති අතර, ඔහු කුලී වැඩ කරමින් සිය ජීවිකාව සරි කරගෙන ඇත.
පසුගිය 28 වන දින බිරිඳ විසින් තම සැමියාගෙන් පහර කෑමක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ මෙම සිදුවීම් මාලාව ආරම්භ විය.
සැකකරු ප්‍රදේශයට ආගන්තුක වීම සහ ඔහුගේ හැසිරීමේ ඇතිවූ සැක සහිත ස්වභාවය හේතුවෙන්, පොලිස් නිලධාරීන් ඔහුගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන පොලිස් V.P.M. දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවක් සිදුකරන ලදී.
එම පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින සහ අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවයි.
වර්ෂ 2004 අගෝස්තු මස 21 වන දින බදුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මෙම 47 හැවිරිදි සැකකරු ලක්ව ඇති බව පොලීසිය පවසයි. හාලිඇළ පහළ කොටසේ පදිංචිකරුවෙකු වන ඔහු, එකල අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව අධිකරණය මඟහැර පලාගොස් තිබේ.
අනතුරුව සැකකරු නොමැතිව නඩු විභාගය පවත්වා ඇති අතර, 2017 වසරේදී හෝ ඊට ආසන්න කාලයකදී අධිකරණය මඟින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර ඇත. එතැන් සිට ගමින් ගමට යමින් රහසිගත ජීවිතයක් ගතකර ඇති සැකකරු, මෙම කරුණු හෙළිදරව් වීමෙන් පසුව ඊයේ (29) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval