customs-duty-fraud-of-270-million-rupees-in-the-import-of-ceiling-sheets

 ශ්‍රී ලංකා රේගුව හරහා සිවිලින් ෂීට් ආනයනයේදී සිදුකර ඇති මහා පරිමාණ රේගු බදු වංචාවක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිවිල් පුරවැසියෙක් විසින් ලිඛිතව පැමිණිලි කර තිබේ. ඒ පසුගිය 05 වැනිදාය. එම ආනයනකරුවන් විසින් වැරැදි තොරතුරු සපයා රේගුව

මඟින් ලබා ගන්නා ලද වැරැදි වර්ගීකරණ අංකයක් යටතේ වසර ගණනාවක් සිව්ලින් ෂීට් රේගුවෙන් නිෂ්කාශනය කර ගෙන යෑමෙන් ආණ්ඩුවට කරන ලද රුපියල් කෝටි 27ක පමණ මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සිවිල් පුරවැසියා ජනාධිපතිවරයාට යොමුකරන ලද ලිපියෙහි සඳහන් කර තිබේ.




අංගොඩ, හීනටිකුඹුර, ගාමිණී රාජකරුණා නමැත්තා මෙසේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබේ. මෙම අයථා ගනුදෙනුව සිදුව ඇත්තේ 2014, 2015, 2016 වර්ෂවල බවද එම ලිපියේ තොරතුරුවල තවදුරටත් සටහන් කර ඇත.

එම ලිපියේ සඳහන් ආකාරයට මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 27ක් පමණ බවත් අදාළ ආනයනකරුවන් වර්ෂ 9 කදී බිලියන 06ක් පමණ ලාභ ලබා ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.වසර ගණනාවක් ගත වුවද මේ සම්බන්ධයෙන් කිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද එම ලිපියේ සඳහන් කර තිබේ. මෙම මහා පරිමාණ ගනුදෙනුව යටගැසීම සම්බන්ධයෙන් සමහර රේගු නිලධාරීන්ද සිටින බවත් විමර්ශන ලිපි ගොනු 18ක් නිසි විමර්ශනයකින් තොරව වසා දමා තිබේ.


මෙම රේගු බදු වංචාව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මුදල් අමාත්‍යාංශය දැනුවත් කර ඇතත් ඒ සඳහා නිසි අවධානයක් යොමුකර නොමැති බවද එම ලිපියේ සඳහන් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් රේගුවේ ඉහළ දූෂිත බලධාර්න් ආරක්ෂා කරන ප්‍රවණතාවක්ද දැකිය හැකි බවත්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 9ක් සිදුකර ඇතැයි කියන සමහර විමර්ශන සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොමැති බවද එම ලිපියේ අදාළ පුද්ගලයා ලිඛිතව සටහන් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධව ලිපි ගොනු පී.ආර්.ටී.වී/000340/2016 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබා දී ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ. රේගුවේ සමහර වර්ගීකරණ විශේෂඥයන් හරහා මෙම අයථා බදු ගනුදෙනු හරහා වංචාවක් සිදුව ඇති බවත් ලෝක රේගු සංවිධානයේ අන්තර් ජාතික වර්ගීකරණ නීති පවා අවභාවිත කර ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත.


පියවි ඇසින් පමණක් වුවද හඳුනාගත හැකි පසුබිමක වර්ගීකරණ විශේෂඥයන්ට මෙම සිව්ලින් ෂීට් හඳුනා ගැනීමට නො හැකි වීම පිටුපස යම් දේශපාලන සම්බන්ධයක් තිබේද යන්න විමර්ශනයක් කළ යුතු බවද එහි සඳහන් කර තිබේ.ඒ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර අදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොසලකා ජනතාවට අහිමි කරන ලද රේගු බදු මුදල් ලබා ගන්නට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට ලබා දුන් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.