container-freeing-is-nothing-new

 මතභේදයට තුඩුදුන් බහාලුම් 323 තුළ ආයුධ, රත්‍රන් හෝ මත්ද්‍රව්‍ය නොතිබූ බව විශ්වාස යැයිද කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ඒවායේ තිබූ බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (8දා) පැවැසීය.




 කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ත්ව ආහාර, මැෂින් වර්ග, පළිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප්ප වර්ග, පොහොර, දැව වැනි දේ ආනයනය කළ එම බහාලුම්වල තිබුණේ යැයි ඔහු පැවැසීය.

ඉන්දියාව, චීනය හා ඊට අමතරව ඉන්දුනීසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් බහාලුම් ආනයනය කර තිබුණේ යැයිද ඔහු කීය. කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වී තිබෙන බැවින් ශ්‍රී ලංකා රේගුව මේ වෙනුවෙන් පශ්චාත් නිෂ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් පැවැසීය.


මීට අදාළව නිදහස් කළ භාණ්ඩවලින් රුපියල් බිලියන 1269ක් තීරු බදු ලෙස අය කරගත් බවත් ඔහු ‘මව්බිම'ට කීය. එම බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුනොවූ බවත් අරුක්ගොඩ මහතා පැවැසීය. අරුක්ගොඩ මහතා මෙසේද කීවේය.



‘2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම්  ගැනයි මේ කතාබහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් සිටියා. රේගු සටහන් අංක 234ක් අපට ඒ ආනයනකරුවන්ගෙන් ලැබුණා. එතුළින් අපි බහාලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මඟින් ඔටෝ නිදහස් වෙච්චි ඒවා. එතකොට මේ කමිටුව මඟින් 309යි අපි නිදහස් කළේ. එතකොට ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම්, ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිෂ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තිබෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි ළඟ තිබෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයා තියෙනවා. අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පක්ෂා නොකළ යුත්තේ කියලා. මම කලින් කිව්වා වගේ සියයට 60ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ.