bones-of-a-small-child-found-with-a-school-bag-in-a-mass-grave-in-chemmani-jaffna

 යාපනය, චෙම්මනි ප්‍රදේශයේ කැණීම් කෙරෙන සමූහ මිනීවළකින් පාසල් බෑගයක් සමග කුඩා දරුවෙකුට අයත් යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් හමුවීමත් සමග එම කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. පසුගිය 29 වන දා සිදුකළ කැණීම් වලදී මෙම සංවේදී සොයාගැනීම සිදුකර ඇත. 



යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ක්‍රියාත්මක මෙම කැණීම්වල තෙවන අදියර පසුගිය ජූනි 26 වන දා ආරම්භ විය. මේ වන විට එම ස්ථානයෙන් මිනිස් සිරුරුවලට අයත් අස්ථි කොටස් 33ක් සොයාගෙන ඇති අතර, ඉන් හයක්ම අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය 29 වන දා ය.



මෙම තෙවන අදියරේ කැණීම් අතරතුර, කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි සැකිල්ලක් සහ ඇගේ පපු ප්‍රදේශයට ආසන්නව කුඩා දරුවෙකුගේ අස්ථි කොටස් ද හමුවී තිබීම විශේෂ සිදුවීමකි. මෙම සොයාගැනීමත් සමග, මවගේ තුරුලේ සිටියදීම දරුවා ඝාතනයට ලක්වන්නට ඇති බවට සැකයක් මතු වන බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය පෙන්වා දෙයි.

මීට අමතරව, කැණීම් භූමියෙන් හමුවූ පාසල් බෑගය ද විමර්ශන සඳහා තීරණාත්මක සාක්ෂියක් වී තිබේ. කුඩා දරුවෙකුගේ අස්ථි කොටස් ආසන්නයේ තිබී මෙම බෑගය මතු කරගෙන ඇති අතර, එහි අන්තර්ගත යම් දෙයක් තුළින් මෙම මරණ සිදුවූ කාලවකවානුව නිශ්චිතව හඳුනාගැනීමට හැකිවනු ඇති බවට අතුරුදන් වූවන්ගේ සංගමය විශ්වාසය පළ කරයි.

යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සමස්ත කැණීම් ක්‍රියාවලිය සිදුවේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණාවන් යන මහත්වරුන්ගේ විශේෂඥ මගපෙන්වීම යටතේ යාපනය පොලීසිය, අධිකරණ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීහු මෙම කටයුතුවලට සහභාගී වෙති.

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4