නිලාවේලි මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා ඩයිනමයිට් භාවිතා කරමින් සිටියදී අනතුරට පත් පුද්ගලයෙකු, ත්‍රිකුණාමලය මහ රෝහලේ කාර්ය මණ්ඩලය නොමඟ යැවීමට උත්සාහ කළ අවස්ථාවක් ඉකුත් 16 වන දින අනාවරණය විය.
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලද මෙම ධීවර කාර්මිකයාගේ වම් අතේ මැණික් කටුව අසලින් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර, ඔහුගේ දකුණු අතේ ඇඟිලි දෙකක්ද සම්පූර්ණයෙන් වෙන් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.
රෝහල් වාර්තා අනුව, තුවාල ලැබූ ධීවරයා සමඟ රැකියාවේ යෙදී සිටි අනෙක් පුද්ගලයා, තුවාලකරු රෝහල් ගත කර ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය නොමඟ යවමින් හදිසි අනතුරකින් තුවාල ලැබූ බවට සාවද්‍ය තොරතුරු ලබා දෙමිනි. නමුත් රෝහල් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම තුවාල සිදු වී ඇත්තේ නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතු සිදු කිරීමේදී බවයි.
අනතුරට පත් ධීවර කාර්මිකයා ත්‍රිකුණාමලය ජමාලියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සමඟ රැකියාවේ යෙදී සිටි අනෙක් පුද්ගලයා ත්‍රිකුණාමල කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා ත්‍රිකුණාමලය රෝහල් පොලිසිය, ත්‍රිකුණාමල වරාය පොලිසියට දැනුම් දී ඇත. වරාය පොලිස් ස්ථානාධිපති ආර්.ඒ.ජේ.එස්. රණවීර මහතා සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පොලිසිය දැනට අනතුරට පත් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, ඉන් අනතුරුව ත්‍රිකුණාමල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සම්පූර්ණ තොරතුරු වාර්තා කිරීමට නියමිත බව වරාය පොලිසිය පවසයි.
මෙවැනි නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, මෙම ක්‍රියා මගින් සමුද්‍ර පරිසරයට සිදු වන හානිය අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval