කොළඹ නගරාධිපති ධුරයට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සුබපැතීම සඳහා පැමිණි පුද්ගලයන් අටදෙනෙකුගේ මුදල් පසුම්බි අටක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට පෙරේදා (17) වාර්තා කර ඇත.
මෙම සිද්ධියට අදාළව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි නවසීලන් නිවේන්ද්‍රන් නමැති පුද්ගලයෙක් මුදල් පසුම්බි දෙකක් සොරාගත් බව සැක කෙරෙන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් ධනුෂ්ක (77710) මහතා අධිකරණයට වැඩිදුර තොරතුරු සපයමින් සිද්ධිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇති අන්දමට, මෙම සැකකරු පුරුද්දක් වශයෙන් මෙවැනි උත්සව අවස්ථාවන්හිදී පැමිණ සිටින පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සොරකම් කරන බවට ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් තොරතුරු ලැබී තිබේ. සැකකරු නගරාධිපතිවරියට සුබ පැතීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ මුදල් පසුම්බි දෙකක් සොරාගෙන පලායෑමට උත්සාහ කරන අවස්ථාවේදී, එම පුද්ගලයන්ගේ දැනුම්දීම මත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අනෙකුත් පැමිණිලිකරුවන් හය දෙනාගේ මුදල් පසුම්බි සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවද අධිකරණයට දන්වා ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ, ඔහු රථවාහන බලපත්‍රයක් ලබාගැනීම සඳහා කොළඹට පැමිණ ඇති බවත්, එම අවස්ථාවේදී බිම වැටී තිබූ මුදල් පසුම්බි දෙකක් අහුලාගෙන ඇති නමුත් ඒවා සොරකම් කිරීමක් සිදු කර නොමැති බවයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් පනස්දහසක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval