
වෙසක් පොහොයදා ජනපති පොදු සමාව ලැබී ඇති බව පවසමින් අනුරාධපුර ඛන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කළ බව කියන ලේඛනයට අනුව අනුරාධපුර මහාධිකරණයේ පැවැති නඩුවකින් නිදහස්ව · ගොස් ඇති බව කියන චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින, ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සදහා ඔහුගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතා මාර්ගයෙන් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.
තමාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති එම. නඩුව අවසන්වීමෙන් පසුව අනුරාධපුර මහාධිකරණයේ තමාට එරෙහිව පැවති එසී69/2108 අංක දරන නඩුවෙන් ජනපති පොදු සමාව යටතේ බව කියමින් නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පවතින නඩුව කැඳවූ අවස්ථාවේ එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේය.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පැවැති නඩුව කැඳවූ අවස්ථාවේ සිය සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහොන් කරුණාරත්න මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා කරුණු දක්වන අතරතුර විශේෂයෙන් පවසා සිටියේ තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නීත්‍යනුකූලව බවයි.
එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්න ගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේද පෙනී සිටින නිසා බව නීතිඥවරයා කීවේය.නීතිඥවරයා එලෙස පවසද්දී විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ. නිලධාරින්ද සිටී විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.විත්තිකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතාද අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා වන ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා අද (11) අනුරාධුපර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවයි.
මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද ඔහු සිටින බව කියා සිටි නීතිඥවරයා, සිය සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති එසී 69/2018 අංක දරන නඩුවෙන් නීත්‍යනුකූලව නිදහස්ව සිටින නිසා බවද ප්‍රකාශ කළේය. විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න තම මිතුරන් සමග අධිකරණ භූමියේ කතා බස් කරමින් සිට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින්ම අධිකරණ භූමියෙන් පිටව ගියේය.
( උපාලි ආනන්ද)
Comments
Post a Comment
Your comment will be visible after approval