the-weligama-hotel-was-shot-at-on-the-orders-of-the-ccd-boss

 වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා බව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුවට ඊයේ (11) සාක්ෂි දෙමිනි. වැලිගම හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් පැවැත්වෙන හෙයින් එහි තාප්පයට සහ පුවරුවට වෙඩි තබා එන ලෙස නෙවිල් සිල්වා මහතා දැනුම් දුන් බව ඔහු කීවේය.




“නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක් අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරල තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ” යැයිද ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තැබූ බවට අධිකරණයට පැවසීමට නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව එකගත්වයක් ඇතිකර ගත් බව කී සිල්වා මහතා වැඩේ දුර දිග යන බව තේරුණු හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා ඇත්ත ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.


තමා වැඩ තහනමට ලක්ව සිටින්නේ ඉහළ නිලධාරීන් දෙන වැරදි තීන්දු තීරණ නිසා බවත් මේ නිසා අද තමාට විශ්‍රාම වැටුප පවා අහිමිවී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. අනෙක් නිලධාරීන් මෙම සිද්ධිය ආදර්ශයට ගත යුතු බව කී ඇන්ස්ලම් ද සිල්වා මහතා මෙවැනි වැරැදි නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් ලබාගෙන යෑම මීට වඩා හොඳ බවද පැවසීය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීය.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඊයේ (11) සිවුවැනි දිනයටත් පෙනී සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ හිටපු මහාධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු වෙති. ප

ොලිස්පතිවරයා සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශවලට පසුගියදා පිළිතුරු දුන්නේය. කමිටුවේ විමර්ශන දිගටම පැවැත්වෙන අතර එහි අවසන් වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට බාරදීමට නියමිතය.
(සුජිත් හේවාජුලිගේ )