2,333 වැනි මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයට පැමිණෙන ලක්ෂ 10 සිට 17 දක්වා වන බැතිමතුන් සඳහා සියලු පහසුකම් සම්පූර්ණයෙන් සූදානම් කර ඇති බව රජයේ නිලධාරීන් පවසයි. රුවන්වැලි සෑ විහාරාධිකාරී ඊතල වැටුණුවැවේ ඤාණතිලක හිමියන් මෙම පොසොන් උත්සවය ආධ්‍යාත්මික වන්දනාවක් ලෙස සලකා සියලු දෙනා සැමරිය යුතු බවත්, මුතුන් මිත්තන්ගේ සිට පැවත එන සංස්කෘතීන්,
උප සංස්කෘතීන් හා පුද පූජාවන් වෙනුවෙන් සමරන මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පහසුකම් සලසන සියලු දෙනා එක්ව සිටින බවත් ප්‍රකාශ කළහ.අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති පොසොන් කමිටු රැස්වීමේදී ඤාණතිලක හිමි මෙම අදහස් ප්‍රකාශ කළහ. එහිදී උන්වහන්සේ පුරාවිද්‍යා ස්මාරක ඇතුළු පූජා භූමියේ පරිසරය රැකගනිමින් ආගමික වතාවත්වල යෙදෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.
පොසොන් උත්සවය පිළිබඳ විශේෂ උපදෙස්
දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ අනුමැතියකින් තොරව කිසිවිටෙක කිසිදු මාධ්‍යයකින් ජාතික පොසොන් උත්සවය පිළිබඳව ප්‍රචාරණයන් සිදු නොකරන ලෙසත්, අනුරාධපුර නගරයේ සැරසිලි නොකරන ලෙසත් අටමස්ථානාධිපති නායක හිමියන්ගේ අනුශාසනා පරිදි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.
සුරාසල් වැසීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුවේ තීරණය ඉදිරියේදී ලබා දීමට නියමිතව ඇති අතර, මුස්ලිම් ජනතාවගේ උත්සව අවස්ථාවක් ද පොසොන් සතිය තුළ පවතින බැවින් මස් කඩ වසා තැබීම ජුනි මස 9, 10 හා 11 යන දිනවලට පමණක් සීමා කෙරිණි.
ජල පහසුකම් සැපයීම
පානීය ජලය සැපයීම බවුසර් මඟින් මෙන්ම පූජා ස්ථාන අවට සවිකරන ලද ජල කරාම මඟින් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. විවිධ ස්ථානවල බවුසර් රථ රඳවන අතර, ජල කරාම 300ක් පමණ පූජා නගරය අවට සවිකර තිබේ.
සනීපාරක්ෂක පහසුකම්
අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත මහතා පැවසුවේ වැසිකිළි පහසුකම් සඳහා අවශ්‍ය තාවකාලික වැසිකිළි 500කට ආසන්න ප්‍රමාණයක් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇති බවත්, නාන තොටුපොළවල් අසල ජංගම වැසිකිළි 80ක් ඉදිකිරීමට නියමිත බවයි. මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ද තවත් වැසිකිළි 100කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
දන්සල් පහසුකම්
බැතිමතුන්ගේ ආහාර අවශ්‍යතාව සැපිරීම සඳහා මේ වන විට දන්සල් 600කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, මෙම සංඛ්‍යාව තවත් වැඩි වන බව දිසා ලේකම්වරයා සඳහන් කළේය.
පූජා නගරය ආශ්‍රිත විශාල ජලාශවල මෙන්ම කුඩා වැව් ආශ්‍රිතව ද ජීවිතාරක්ෂක සේවාවන් පවතින අතර, නගරයෙන් පිට වැව් ගණනාවකට ද මෙම ජීවිතාරක්ෂක සේවා සපයා ඇත.
තොරතුරු තාක්ෂණික පහසුකම්
මෙවර පොසොන් වන්දනාවේ පැමිණෙන පිරිස්වල පහසුව සඳහා ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ද කටයුතු යොදමින් පවතී. මෙයින් වන්දනාකරුවන් පැමිණෙන වාහන වර්ගයට අනුව කවර දිශාවකට, කවර මාර්ගයකින් ගමන් කළ යුතු ද යන්න හඳුනාගත හැකිය. මීට අමතරව ජල පහසුකම් පවතින ස්ථාන, රථගාල් පිළිබඳව විස්තර, දන්සල්, වෛද්‍ය කඳවුරු, ජීවිතාරක්ෂක සේවා ස්ථාන, සුපිරි වෙළෙඳසල්, මාර්ගවල දුර සීමාවන්, අත්‍යවශ්‍ය දුරකතන අංක ආදිය ද හඳුනාගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බවද මෙහිදී දැනුම් දුන්නේය.
ප්‍රවාහන පහසුකම්
ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් අමතර බස් සේවා රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සාමාන්‍ය දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් අමතර දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ජුනි මස 09, 10, 11 යන දිනවලදී එම දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. මීට අමතරව අනුරාධපුර හා මිහින්තලය අතර දුම්රිය ගමන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකිරීමට ද කටයුතු යොදා තිබේ.
තොරණ හා විමසුම් මධ්‍යස්ථාන
ඊට අමතරව මේ මස 7 වැනිදා සිට 15 වැනිදා දක්වා අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ ආසන්නයේදී පොසොන් තොරණ දර්ශනය කෙරේ. අනුරාධපුරයට පැමිණෙන්නේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා විමසුම් මධ්‍යස්ථාන පහක් ද ක්‍රියාත්මක වේ.
අනුරාධපුරයට පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා රජය, පළාත් පාලන ආයතන, ආගමික නායකයින් ඇතුළු සියලු පාර්ශව එක්ව සම්පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කර ඇති අතර, ආගමික වටිනාකම සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval