the-fifth-grade-scholarship-will-not-be-abolished-immediately-prime-minister

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ක්‍රමානුකූල ප්‍රවේශයක් ගන්නා බවත්, 2028-2029 කාලය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. 


අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසූ අන්දමට, පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අනාගතයේදී ක්‍රමානුකූලව තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බව ඇය පැහැදිලි කළාය.


සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මෙම ප්‍රකාශය සිදු කළාය.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ ඉදිරි සැලසුම්
අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට ඇති වන අධික පීඩනය අවම කිරීම සඳහා පියවර ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි. ඒ අනුව 2028, 2029 වර්ෂ වන විට ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඇය පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් අගමැතිවරිය පෙන්වා දුන්නේ නවීන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

අගමැතිවරිය සිය ප්‍රකාශය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට යෝජිත අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැන ද අවධානය යොමු කළාය.

ඒ අනුව සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට වඩාත් යාවත්කාලීන වූ මොඩියුල ක්‍රමය පාසල් පද්ධතියට හඳුන්වා දීමට ද රජය පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
විද්‍යා පීඨ සම්බන්ධයෙන් කථා කරමින් අගමැතිවරිය පෙන්වා දුන්නේ වසර 16ක් තිස්සේ එම ක්ෂේත්‍රයේ කිසිදු සංශෝධනයක් සිදුව නොමැති බවයි. ගුරුවරයෙකු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී ඇති බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.