හොරණ නගරයේ ධාවනය වෙමින් තිබූ බස්රථයකින් පාසල් දැරියක ඇදවැටී තුවාලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා හෙට (27) දින තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රියැදුරුගේ රියැදුරු බලපත්‍රය නඩු කටයුත්ත අවසන් වන තෙක් අත්හිටුවීමට ද නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ බස්රථයේ රියැදුරු ජයකොඩි ආරච්චිගේ වසන්ත (47) සහ බස්රථයේ කොන්දොස්තර අතුකෝරලාගේ අනුර ජයකොඩි (55) දෙදෙනාය.
කොළඹ දෙස සිට හොරණ දෙසට ධාවනය කළ බස්රථය ඊයේ 25 වැනිදා විද්‍යාරත්න පන්සල අසල බස් නැවතුම්පොළේ නවතා නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේදී එම බස්රථයෙන් වැටී සිසුවියක තුවාල ලැබූ බව අධිකරණයේ දී කියැවිණි.
රෝහල්ගත වූ අරමනාගොල්ලේ පදිංචි දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ දකුණු අත වැලමිට සහ උරහිස අසලින් අස්ථි බිඳීමක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය අධිකරණයට හමුවේ කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval