investigations-against-pillayan-in-five-murder-cases

 ඝාතන සිද්ධීන් පහකට හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  සම්බන්ධවී ඇත්දැයි විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි කියයි. එම සිද්ධීන් අතර පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධියක් ද පවතින බව විමර්ශනවලදී අනාවරණය වී යැයි ද කියයි.




නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිදුනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලට අදාළව එම තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් මඩකළපුව ප්‍රදේශයට යවා ඇති බවද සදහන්වේ. එම විමර්ශනවලට අදාළව සැකකරුවන් කඳවුරු පවත්වාගෙන ගිය ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඉකුත්දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.