former-kalutara-political-powerhouse-deletes-rmv-data-and-imports-2-luxury-vehicles-worth-rs-30-million

 නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇතැයි සැක කෙරෙන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී වාහන දෙකක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් බණ්ඩාරගම ප්‍රදේශයේදී සිය භාරයට ගෙන තිබේ. මෙම වාහන කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයකු විසින් ගෙන්වූ බවට තොරතුරු ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් වාහන අතර මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථයක් සහ කැරවෑන් වර්ගයේ වෑන් රථයක් වේ.



බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් මත, බණ්ඩාරගම, ආදර්ශ පටුමගේ නිවසක සඟවා තිබූ කැරවෑන් වර්ගයේ වෑන් රථය පළමුව සොයාගෙන ඇත. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම, හොරණ මිල්ලනිය ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයකු භාවිත කරන නීත්‍යානුකූලව ලියාපදිංචි කළ වෙනත් වාහනයකට අයත් එකක් බවයි. වාහනය සඟවා තිබූ නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.



මෙම ජාවාරම පිළිබඳ වැඩිදුරටත් ලද තොරතුරක් අනුව, වීදාගම, සිරිමල් මාවතේ පිහිටි රථ වාහන සේවා ස්ථානයක නතර කර තිබූ මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයද පොලිස් භාරයට ගැනිණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ තොරතුරු වෙනස් කර මෙම ජීප් රථය සඳහා ව්‍යාජ ලියාපදිංචි අංකයක් සකස් කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සේවාවක් සඳහා යැයි පවසා මීට සති දෙකකට පෙර මෙම ජීප් රථය ගෙනැවිත් දමා ගොස් ඇති නමුත්, මෙතෙක් කිසිවකු එය රැගෙන යාමට පැමිණ නැති බව සේවා ස්ථානයේ හිමිකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අදාළ දේශපාලනඥයා අමාත්‍ය ධුරයක් දැරූ සමයේ මෙම වාහන දෙක නීති විරෝධීව මෙරටට ගෙන්වන්නට ඇති බවට පොලීසිය ප්‍රබලව සැක කරයි. ව්‍යාජ ලෙස සකස් කළ ජීප් රථයේ දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පද්ධතියට ඇතුළත් වූයේ කෙසේද යන්න, වෑන් රථයේ අංක තහඩුවේ අක්‍රමිකතාව සහ මෙම වාහන වෙනත් නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදාගත්තේද යන්න පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.



gossiplanka image 1