පමුණුගම පොලිස් උස්වැටකෙයියාව පෙදෙසේ ගබඩා සංකීර්ණයක වෙළෙඳපොළට නිකුත් කිරීමට උරවලට බහලමින් තිබූ කල් ඉකුත්වූ තිරිඟු පිටි කිලෝ 79,050 ක් ඊයේ (24) අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
කොළඹ වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන මෙම ගබඩා සංකීර්ණයේ තිබී අත්අඩංගුවට ගත් තිරිඟු තොගයේ වටිනාකම ලක්ෂ 100 පමණ වන බවද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියි.
අත්අඩංගුවට ගත් තිරිඟු තොගය සමග ගබඩා සංකීර්ණයේ කළමනාකරු සමග තිරිඟු පිටි පැකට් වලට අසුරමින් සිටි සේවකයන් 5 දෙනකු ද සීල් කිරීමට භාවිත කිරීමට ගන්නා මැෂිමක් සහ කන්ටේනර් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේ ගබඩා සංකීර්ණයේ සේවක පිරිසක් කල් ඉකුත් වී තිබූ තිරිඟු පිටි උරවලින් ඉවත් කර අලුතින් කල් ඉකුත්වන දිනය සටහන් කර තිබූ කිලෝ 25 බැගින් අලුත් උරවලට පුරවා මැෂිමකින් සීල් කරමින් සිටි බව වැටලීම සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු පවසති. වැටලීම සිදු කරන අවස්ථාවේ ගබඩා සංකීර්ණය තුළ තිබී අත්අඩංගුවට ගත් කන්ටේනර් රථ දෙකෙන් එකක කල් ඉකුත් වූ
තිරිඟු පිටි උර ද අනෙක් කන්ටේනර් රථයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර අලුතින් කල් ඉකුත් වන දිනය සඳහන් කර තිබූ තිරිඟු පිටි උර ද පටවා තිබුණු බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු සඳහන් කළේය.
පමුණුගම පොලිසියේ විශේෂ කාර්යාංශ උප ඒකකයේ සැරයන් නලීන් ධම්මික මහතා ලබා දුන් තොරතුරක් මත වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පමුණුගම සහ උස්වැටකෙයියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන කසුන් සහ සුරේෂ් යන නිලධාරිහු මෙම වැටලීම කළහ. සැකකරුවෝ සහ භාණ්ඩ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval