the-gazette-on-land-settlement-in-the-north-is-reversed

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශයේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ නිරවුල් කිරීමේ නිලධාරීන් පසුගිය මාර්තු 28 වැනි දින ගැසට් කළ උතුරු ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවට එම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා නීතිපතිවරයාට දැනුම් දී තිබේ.



 ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් හා පුවත්පත් මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් මෙම දැන්වීම සම්බන්ධයෙන් උතුරු පළාතේ ජනතාව තුළ දුර්මතයක් මතුවී තිබෙන බවත් ඒ අනුව මෙම ගැසට් නිවේදනය ඉවත්කර ගන්නා ලෙසට උතුරු පළාතේ දේශපාලන අධිකාරිය තමාගෙන් ඉල්ලා තිබෙන බවත් ලේකම්වරයා කියා සිටී. හිමිකම් ඉදිරිපත් කිරීමට මාස තුනක කාලසීමාවක් ලබාදී තිබෙන බවටත් හිමිකම් ඉදිරිපත් නොකරන ඉඩම් කොටස් රජය සතු ලෙස ප්‍රකාශයට පත්කරන බවටත් මෙම ගැසට් නිවේදනය මඟින් දැනුම් දී තිබීම උතුරේ දේශපාලන අධිකාරියේ ඉල්ලීමට හේතු වී ඇතැයිද වික්‍රමසිංහ මහතා පවසයි.



එසේම උතුරු පළාතේ එවකට පැවැති යුදමය වාතාවරණය හේතුවන් ජනතාව සතු ඉඩම්වල හිමිකම් සනාථ කිරීමට ලිපි ලේඛන නොමැති බවටත්, සැලකිය යුතු පිරිසක් විදේශගතව ජීවත්වන බැවින් ඔවුන්ටද හිමිකම ඉදිරිපත් කිරීමට අවස්ථාව අහිමි වී ඇති බවටත් වර්තමාන පරම්පරාවන්ට පාරම්පරික ඉඩම් හඳුනා ගැනීමේ අපහසුතාවන් පවතින බවටත් එම දේශපාලනඥයන් පෙන්වා දී ඇතැයිද හෙතෙම කියයි.

මෙම කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතේ මහජන නියෝජිතයන්ගේ‍ සහභාගිත්වයෙන් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමක් පවත්වා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.



1931 අංක 20 දරන ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ආඥා පනත ප්‍රකාරව නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මඟින් කිලිනොච්චිය, යාපනය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉඩම් 07ක් පිළිබඳව දක්වා තිබූ බවද ලේකම්වරයා පවසයි. හිමිකම් පෑම් පනතේ දක්වා ඇති ප්‍රතිපාදන, රෙගුලාසි හා නියෝගවලට අනුකූලව විමර්ශනය කිරීමෙන් අනතුරුව නිරවුල් කිරීමේ නිලධාරීන් ආඥා පනතේ 5 වැනි වගන්තිය පරිදි හිමිකම් තීරණය කර පනතේ 8 වැනි වගන්තිය අනුව නිරවුල් කිරීමේ අවසන් ආඥාව ගැසට් නිවේදනයෙහි පළ කළ බවද හෙතෙම කියා සිටී.
(අමිත් මධුරංග ගමගේ)