
ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි සාමාජිකයකු බව කියන මේ වන විට ඩුබායි රටෙහි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමට අධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වන අරුණ සම්පත් රූපසිංහ නමැත්තකු මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙම ප්‍රබල පෙළේ අපරාධකරුවා භාවිත කළ විදේශ ගමන් බලපත්‍රය 2024 නොවැම්බර් මස 9 වැනි දින කල් ඉකුත්ව තිබී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාහු අධිකරණයට දන්වා සිටියහ. කෙහෙල්බද්දර පද්ම නමැති එම අපරාධකරුවා ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ භෞතිකව පෙනී නොසිටි තත්ත්වයක් හමුවේ ඔහු වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයේ සකස් කරදීමට මෙම සැකකාර පුද්ගලයා ආධාර අනුබල ලබාදී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද එම නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. ව්‍යාජ තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද අයැදුම්පතකට අනුව සැකකරු එම ගමන් බලපත්‍රය සකස් කිරීමට කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාහු පැවැසූහ. ඒ අනුව කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ කල් ඉකුත් වී ඇති විදේශ ගමන් බලපත්‍රය සැකකරු විසින් යාවත්කාලීන කර ඇති බවද විමර්ශන නිලධාහු පැවැසූහ.
කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය ඡායාරූප සැකකාර පුද්ගලයා විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති ඡායාරූප ආයතනයක් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙත්වාගෙන ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්වරයා විසින් ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇති බවද එම නිලධාහු අධිකරණයට පෙන්වා දුන්හ. ඡායාරූප තීරුමැදුර නාලක සිල්වා නමැත්තා යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාහු අධිකරණයට කරුණු දක්වමින් පැවැසූහ.
එම විදේශ ගමන් බලපත්‍රයේ සැකසීමට අවශ්‍ය කෙහෙල්බද්දර ප නමැත්තාගේ ඇඟිලි සලකුණු සටහන් සැකකරු විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වාගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම ඇඟිලි සලකුණු සටහන් කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ ඇඟිලි සලකුණු බවට අනාවරණය නොවූ බවද විමර්ශන නිලධාහු අධිකරණයට දන්වා සිටියහ.
විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ ක්‍රමවේදයෙන් තොරව මෙම සැකකරු නීති විරෝධී අයුරින් තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කර ඇති බවට සිදුකරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද විමර්ශන නිලධාහු අධිකරණයට පෙන්වා දුන්හ. ඒ පිළිබඳව සිදුකරන විමර්ශන අවසන්ව නැති බවත් සැකකරුට ඇප ලබා දුනහොත් මෙම සිද්ධියේ ඉදිරි විමර්ශනවලට මෙන්ම සාක්ෂිකරුවන්ටද බලපෑමක් සිදුවිය හැකි බැව්න් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි එම නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළව තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවය.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
තම සේවාදායකයා එම ආයතනය තුළ කීර්ති නාමයක් දිනාගත් රාජ්‍ය සේවකයෙක් බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දෙපාර්ශ්වය අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විමර්ශන මෙම විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය කරන නිලධාරීන්ට නියෝග කළේය.
(කුමුදු උපුල් ශාන්ත)