ගල්කිස්ස, සිල්වෙස්ටර් මාවත අසලදී ගල්කිස්ස නගර සභා සේවකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය කරගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ වන විට හැකි වී තිබේ. ඒ, එම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු මෙන්ම යතුරුපැදිකරුද අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය.
ඒ අනුව හෙළිවන්නේ 19 හැවිරිදි එම තරුණයාගේ ඝාතනය බඩෝවිට අසංක පාර්ශ්වයේ “සැන්ඩෝ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවය. 19 හැවිරිදි ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීම සඳහා තුවක්කුකරු සහ පැදිකරු මෙහෙයවා ඇත්තේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මතය.තුවක්කුකරු, පැදිකරු, ආධාර අනුබල දුන්නවුන් අත්අඩංගුවට ගත්තද ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ පිස්තෝල ගිනි අවිය සොයා ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත. එහෙත් ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ ගිනි අවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත. ඒ ප්‍රවීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචි අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමත් සමඟය. ප්‍රවීන් නිශ්ශංක ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ වෙඩි තැබීමට තුවක්කුකරු සමඟ පැමිණි යතුරුපැදිකරුය.
මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි "ඩිලා” නමැති ඔහුගෙන් කළ ප්‍රශ්න කිර්මේදී අංක තහඩු 3ක්, කැබලි කරන ලද යතුරුපැදියක කොටස් සොයා ගැනීමට නිලධාරීර්න් සමත් වන අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිමෙන් පසු ප්‍රවීන් නිශ්ශංක ඝාතනයේ වෙඩික්කරු කොටුකරගෙන ඇත. හිටපු ගුවන් හමුදා සෙබළකු වූ ඔහුගේ කොට්ටාව කුලසෙවණ මාවතේ ඉදිකරමින් පවතින නිවෙසේ නාන කාමරයේ වළදමා තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 15ක්ද නිලධාර්න් සොයාගනු ලබන්නේ ඉන් පසුවය. ඒ අතර අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරුපැදිය සඳහා භාවිත කළ ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරුපැදි අංක තහඩු යුගලක්ද සොයා ගැනීමට නිලධාර්න් සමත් විය.
වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කරමින් නිලධාර්න් ඊළඟට විමසා ඇත්තේ ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීමට උපයෝගී කරගත් ගිනි අවිය ගැනය. එහිදී වෙඩික්කරු නිලධාරීන්ට පවසා ඇත්තේ ප්‍රවීන්ට වෙඩි තැබීම සඳහා එම අව්ය තමාට ලබා දුන්නේ ඕබන් පෙදෙසේ පදිංචිකරුවකු බවය.ඒ අනුව හෙළිවන්නේ මෙවන් කතාවකි. ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි තැබීමට දින පහකට පෙර එනම් මැයි මස 1 වැනිදා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ "සැන්ඩෝ" විසින් මෙම සැකකාර යුවළගේ සැමියාට දුන් දුරකථන ඇමැතුමක් මත ඔහු පානදුර ප්‍රදේශයට ගොස් එක්තරා පුද්ගලයකු හමුවී ඇති බවය. පසුව ඔහු විසින් දෙනු ලැබූ පිස්තෝල අවිය රැගෙන සුඛෝපභෝගී බසයක නැගී සැකකාර සැමියා දෙහිවල ඕබන් පෙදෙසේ සිය නිවෙසට පැමිණ එම ගිනි අවිය නිවෙසේ සඟවාගෙන සිට ඇත.
එලෙස සඟවා තිබූ පිස්තෝල අවිය සැන්ඩෝ විසින් යළි දෙන ලද උපදෙස් මත මැයි පස්වැනිදා අලුයම බෙල්ලන්විල රථ ගාලකට කුලී රියකින් ගොස් එම අවිය එතැනට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුට ලබාදී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ. ඒ බව ඒ අවට ඇති සීසීටීවී කැමරා දර්ශනවලින් තහවුරු වූ බව නිලධාහු කියති.රථගාලේදී එම ගිනි අවිය ලබාගත් වෙඩික්කරු එම අවිය රැගෙන ගල්කිස්ස සිල්වෙස්ටර් පාරට යන්නේ ඉන් අනතුරුවය. යතුරුපැදියකින් සිල්වෙස්ටර් පාරට යන තුවක්කුකරු එහිදී මාර්ගය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තබන අතර වෙඩි පහර කාගෙන ගාලුපාර දෙසට දිව යන ප්‍රවීන්ට පන්න පන්නා ගොස් වෙඩි තබා ඔහු මරා දමන්නේය.
වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පැමිණි යතුරුපැදියෙන්ම පැදිකරුගේ නිවෙසට ගොස් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ඇඳුම් ගලවා දමා යතුරුපැදියද පැදිකරුට තබාගන්නා ලෙස පවසා එතැනින් නික්ම ගොස් ඇත. පසුදින එනම් 6 වැනිදා සැන්ඩෝගෙන් යළි දුරකථන ඇමැතුමක් අඹු - සැමි යුවළගේ සැමියාට ලැබී ඇත. අරූට ගහපු වෙපන් එක ගන්න කොට්ටාවට පලයන්. ඒක උඹට ගෙනත් දෙයි. ඒක අරගෙන මම කියන ලොකේෂන් එකේ තියපන්, සැන්ඩෝ එම කීම මත සැකකාර සැමියා සිය බිරියද යතුරුපැදියක නංවාගෙන කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත්තේ ඉන් පසුවය. එහිදී වෙඩික්කරු විසින් ප්‍රවීන් මරා දැමීමට උපයෝගී කරගත් ගිනි අවිය සැකකාර සැමියා අතට ලබා දී තිබේ. පසුව සැමියා විසින් එම අවිය බිරියට ලබාදී ඇති අතර, බිරිය එය තම හෑන්ඩ් බෑගයේ දමාගෙන ඇත. පසුව පිළියන්දලට යන මෙම යුවළ සැන්ඩෝ විසින් ලබාදෙන “ලොකේෂන්” එකක එම ගිනි අවිය තබා පෙරළා සිය නිවෙස බලා ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිව තිබේ.
ඒ අනුව තුවක්කුකරු විසින් කරන ලද පාපෝච්චාරණය මත මෙම සැකකාර යුවළද සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම යුවළ දෙහිවල, ඕබන් පෙදෙසේ ධීවර නිවාසවල පදිංචිකරුවෝය. සැකකාරිය අවුරුදු 28ක තැනැත්තියක් වන අතර,
සැකකරුගේ වයස අවුරුදු 33කි. සැකකරු යතුරුපැදි කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 15,000ක් සමඟිනි. සැකකරු සංවිධානාත්මක අපරාධකරු සැන්ඩෝ නමැත්තාගේ සමීපතමයෙකි.කොස් මල්ලී සහ බඩෝව්ට අසංක පාර්ශ්ව දෙක අතර ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස අසංක පාර්ශ්වය නියෝජනය කරන සැන්ඩෝ නමැත්තා විසින් ප්‍රවීන් වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවා තිබේ.
ප්‍රවීන් වෙඩි තබා මරා දැමීමෙන් පසු ප්‍රවීන්ගේ ඥාතියකුට තර්ජනය කරමින් තවත් අය මරා දමන බවට වස්ඇප් හරහා තර්ජනය කරන්නේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී හෙළිවිණි. කෙසේ වෙතත් මැරුම් කෑ ප්‍රවීන් නමැත්තා කොස්මල්ලිගේ පාර්ශ්වයේ ඥාතියකු බව හෙළි වී ඇති අතර එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස ඉකුත් 19 වැනිදා දහවල් බඩෝවිට අසංකගේ ඥාතියකුගේ දෙහිවල නැදිමාල පිහිටි වෙළෙඳසලක සිටි පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි තැබීමක්ද සිදුකර තිබේ. එහෙත් ගනි අවිය අක්‍රිය වීම නිසා එම පුද්ගලයාගේ ජීවිතය බේරී තිබේ. පසුව වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය මීගොඩ, කජුගහයටදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.අසංක සහ කොස්මල්ලි පාර්ශ්ව දෙක අතර ඇති ගැටුමෙන් මේ වන විට අහිමි වී ගිය ජීවිත ගණන 8කි. අත්අඩංගුවට ගත් සැකකාර අඹු - සැමි යුවළ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval