වෙළෙදපොළේ පොල් මිල ඉහළ අගයක පැවැතීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජයේ පොල් වෙන්දේසියේ දී ලබාගන්නා පොල් තොග අතරමැදියන් විසින් කෘත්‍රිමව ඉහළ මිලක පවත්වාගෙන යාම බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.රජයේ ඉඩම්වලින් ලබා ගන්නා පොල් වෙන්දේසියේදී අතරමැදියන් අවම මිලකට ගෙන පොල් තොග ඉහළ මිලකට
වෙළෙඳපොළට නිකුත් කර විශාල ලාභයක් උපයා ගැනීම නිසා පොල් වගාකරුවන්ට මෙන්ම පාරිභෝගික ජනතාවටත් යම් අසාධාරණයක් සිදුවන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවැසීය.පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට පොල් අස්වැන්නේ අඩුවක් පැවතුණ ද පොල් මිල අද වනවිටත් රුපියල් 200ත් ඉක්මවා ඉහළ මට්ටමක පැවැතීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ජයකොඩි මහතා කීය.මැයි ජුනි යන මාසවල පොල් අස්වැන්න ගෙඩි මිලියන 555ක් බවට පුරෝකථනය කර ඇති අවස්ථාවක මෙලෙස තවදුරටත් පොල් මිල ඉහළ යාම ගැටලුකාරි තත්ත්වයක් බව රජයෙහි ඉහළ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදී ආවරණය වී යැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා කීය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස මින් ඉදිරියට පොල් වෙන්දේසියට ඉදිරිපත් කරන පොල් තොගවලින් කොටසක් පමණක් වෙන්දේසියට ඉදිරිපත් කර ඉතිරි පොල් තොග සහන මිලට සංතාස හා සමූපකාර හරහා පාරිභෝගික ජනතාවට ලබා දීමට එකගත්වය පළවූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙලෙස පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද අවධානය යොමුවී ඇති අතර ජනාධිපතිවරයා කෘෂිකර්ම හා පොල් වගාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල ඉහළ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ පොල් මිල පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.ඒ අනුව ලබන මාසයේ සිට පොල් අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළ රැසක් සිදු කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සූදානම් වෙයි.ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ රැසක් මේ වන විට ගෙන ඇති අතර පොල් කුරුමිණියා මර්දනය කිරිම, මයිටා රෝගය තුරන් කිරිම මෙන්ම රිළවුන් විසින් විනාශ කරනු ලබන පලදාව සම්බන්ධයෙන් තීන්දු තීරණය කිහිපයක් ගැනීමට එම මණ්ඩලය සූදානම් වෙයි.
මේ වනවිට රජය සතු පොල් ඉඩම් අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පැවතුණ ද ඇතැම් ඉඩම්වල පොල් වගාව නිසරු බව සිදු කරනු ලැබූ සාකච්ඡාවේදී අනාවරණය විය. එහිදී එම පොල් ඉඩම් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.මෙහිදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේ තව මාස කීපයකින් පොල් අස්වැන්න තවත් අඩුවීමක් ඇතිවන බවට පුරෝකතනය කර ඇති බවත් ඒ අනුව යළිත් වරක් පොල් මිල ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.පොල් අස්වැන්න අප්‍රේල්, මැයි, ජුනි යන මාසවලදී ඉහළ යන බවට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සිදු කර ඇති පුරෝකථනය සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය එම ආයතනයෙන් කරුණු විමසීමක් ද කර ඇති බව දැනගන්නට තිබේ.( ඉන්දික ශ්‍රී අරවින්ද)
Comments
Post a Comment
Your comment will be visible after approval