
දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාලවයස්කාර දරුවන් වහල් භාවයට පත්කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වයට නොගැළපෙන තීරස්වීන ක්‍රියාවක් බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා, මිනිස් වෙළෙඳාම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් ඊයේ (10) නියම කළේය.
වින්දිත දැරිය විදේශගත වී මාස දෙකක් ගත වීමටත් පෙර හාම්පුතුන්ගේ හිරිහැරයට ලක් වුවත් ජීවිතය රැකගෙන යළි මෙරටට පැමිණීමේ වාසනාව ඇයට හිමි වූ බව පෙන්වා දුන් විනිසුරුවරයා, එසේ නොවුවානම් අඩු වයසින් විදේශගත වී ජීවිතය පූජාකළ රිසානා දැරියට අත් වූ ඉරණමම මෙම දැරියටද අත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණේ යැයි ද පෙන්වා දෙමින් අදාළ දඬුවම් නියම කළේය. විත්තිකරුට රුපියල් 25,000/-ක දඩයක්ද, මිනිස් වෙළෙඳාමට හසුවූ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා, දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් වසර 1 1/2ක සිරදඬුවමක්ද නියම කළේය.
චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ කල්මුණේ පදිංචි අබ්දුල් කාදර් සරිබ් නමැති 59 හැවිරිදි දෙදරු පියකුටය.
2008 වසරේදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකස් කර ලබාගත් ව්‍යාජ විදේශ ගමන් බල පත්‍රයක් මගින් ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යැවීමෙන් මිනිස් වෙළෙඳාම් කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව චෝදනා නගා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙහෙකාර සේවයට යොමු කළ බාලවයස්කාර දැරිය ඇතුළු පිරිසක් සාක්ෂි දුන්හ.
සාක්ෂි විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා, සිය මව්පියන් වෙන්වීම නිසා සිය මිත්තණිය ළග හැදී වැඩුණු 15 වන වියේ පසුවූ වින්දිත දැරියගේ දුප්පත්කම "රිසානාගේ ඉරණම මේ දැරියටත් අත්වෙන්න තිබුණා" දඩමීමා කරගෙන තමන්ට ලැබෙන මූල්‍යමය වාසිය ගැන පමණක් සිතා විත්තිකරු කටයුතු කර ඇති බව සාක්ෂි මඟින් හෙළි වී ඇතැයි පෙන්වා දුන්නේය.
'කින්නියා' ප්‍රදේශයේ දැරියගේ නිවස අසල වෙළෙඳ සලකදී අවස්ථා කීපයකදීම විත්තිකරු දැරිය හමුවී ඇති බවත්, අනාගතය පිළිබඳ 'සිහින ලෝකයක්' ඇගේ හිතේ මවා ඇය කොළඹට රැගෙනවිත් ඇති බවත්, ඇයට වඩා අවුරුදු 04ක් වැඩිමහලු කාන්තාවකගේ උප්පැන්න සහතිකයක් මඟින් වින්දිත දැරියට ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකස් කර එය උපයෝගී කරගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ඇය විදේශගත කිරීමට කටයුතු කර ඇති බව සාක්කි වලින් හෙළි වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා,
විදේශගත කිරීම සඳහා වින්දිත දැරිය කටුනායක ගුවන් තොටුපළට රැගෙන ගිය අවස්ථාවේදී තමා 'ජෝර්දානය' නමැති මැදපෙරදිග රටට යවන්නේ මෙහෙකාර සේවයට බව දැනගත් විට දැරිය හඬා වැලපී ඇති බව සාක්ෂි මඟින් හෙළිවී ඇතැයිද පෙන්වා දුන්නේය.
'රට යන්න බෑ' කියමින් වින්දිත දැරිය හඬා වැලපෙන විට 'රට යන්න බැරිනම්, වියදම් වෙච්ච ඔක්කෝම මුදල් මට දීපං' කියමින් විත්තිකරු දැරියට තර්ජනය කර විදේශගත වීමට ඇය පොළඹවාගෙන ඇති බව වින්දිත දැරිය දුන් සාක්ෂි වලින් මනාව පැහැදිලි වන බව පෙන්වා දුන් විනිසුරුවරයා, වින්දිත දැරියගේ දුප්පත්කම දඩමීමා කරගෙන තමන්ට ලැබෙන මූල්‍යමය වාසිය පමණක් සලකා විත්තිකරු මෙම නීතිවිරෝධී ක්‍රියාව කර ඇතැයිද පෙන්වා දුන්නේය.
ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාලවයස්කාර දරුවන් වහලුන් බවට පත්කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම ඉතාම බරපතළ වරදක් බවත්, එය මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවක් බවත් පෙන්වා දුන් විනිසුරුවරයා, සිය දරුවන්ගේ මෙන්ම අන් දරුවන්ගේද ආරක්ෂාව හා සුබසිද්ධිය සැලසීම වැඩිහිටියකු වශයෙන් විත්තිකරුගේ වගකීම වුවත් ඔහු එම වගකීම පැහැර ඇති බවද අවධාරණය කළේය.
වින්දිත දැරිය විදේශගත වී මාස දෙකක් ගත වීමටත් පෙර නිවසේ හාම්පුතුන්ගේ හිරිහැරයට ලක්වී ඇති ඇයට ජීවිතය රැකගෙන යළි මෙරටට පැමිණීමේ වාසනාව හිමි වී ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා,
එසේ නොවුයේ නම් අඩු වයසින් විදේශගත වී මීට පෙර සිය ජීවිතය පූජා කළ 'රිසානා' දැරියට අත් වූ ඉරණමම මෙම දැරියටද වීමට ඉඩ තිබුණේ යැයිද අවධාරණය කළේය.
රජයේ මැදිහත්වීමෙන් 2008 වසරේදී මෙම දැරිය ලංකාවට ගෙන්වා ගෙන ඇතත් ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය ඒ පිළිබඳව නීතිපතිවරයාට උද්ධෘත යොමුකර ඇත්තේ 2010 වසරේදී බවත්, විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට වසර 09ක් ගත වී ඇති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා, තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනයේදී වින්දිත දැරිය අධිකරණයට කැඳවන ලෙස දැනුම් දෙමින් පෙබරවාරි 17 වැනිදා නොතිසි නිකුත් කර ඇතත් එම නොතීසිය ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය ක්‍රියා නොකිරීම පිළිබඳ කනගාටුව පළ කළේය.
මෙම නඩුවේ තීන්දුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය වෙත වහාම යොමු කිරීමට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළ විනිසුරුවරයා, බාලවයස්කාර දරුවන් මිනිස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයන්ට අනුකම්පා කිරීමට අධිකරණයට හැකියාවක් නැතැයි අවධාරණය කරමින් අදාළ දඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් (අධිකරණයෙන් පත්කළ) නීතිඥ දිල්ෂානී ලොකුසූරිය මෙනෙවිය පෙනී සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval