
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සිදුවූ බරපතල රිය අනතුරකින් නවතා තිබූ මෝටර් රථයක රියදුරෙකු මියගොස් ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර පෙරේදා (04) අලුයම් කාලයේදී සිදුවී ඇති බවයි. කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ගමන් ගත් සුඛෝපභෝගී වාහනය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් මියගිය පුද්ගලයා කළුතර දකුණ, මුස්ලිම් පල්ලිය පාරේ පදිංචි වූ අවුරුදු 34ක් වයසැති ඒ.බී. රිස්වාන් නැමැත්තා බව හඳුනාගෙන ඇත.
තුවාල ලැබූවන් අතර රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.සී. නිලංග හේරත් මහතා, ඔහු ගමන් ගත් මෝටර් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා, සහ නවතා තිබූ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකු ද සිටින බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.
පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාරව රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා කොළඹ පැවැත්වෙන රාජකාරි කටයුත්තකට සහභාගිවීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි.
විමර්ශන මගින් තවදුරටත් හෙළිවී ඇත්තේ අනතුරට ලක්වූ මෝටර් රථය මාසික කුලී පදනම මත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති වාහනයක් බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාර්මික දෝෂයට ලක්වූ රථයේ රියදුරු මෝටර් රථයෙන් බැස එහි පිටුපස සිටගෙන සිට ඇති අතර, මෝටර් රථයේ වම්පස අසුනේ තවත් මගියෙකු අසුන්ගෙන සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන් ගත් සැප මෝටර් රථය පිටුපස සිටගෙන සිටි රියදුරු ද යටකරගෙන ගොස් මෝටර් රථයේ ගැටී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ සිවුදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෝටර් රථයේ රියදුරු වූ රිස්වාන් මහතා පැය කිහිපයකට පසු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.
පොලීසිය සඳහන් කරන පරිදි, අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ හානි සිදුවී ඇත. අනතුර සම්බන්ධයෙන් පොලීසිය අප්‍රික්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම යන චෝදනාව මත රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අධිවේගී මාර්ග පොලිස් අනුපාලක ස්ථානය (කුරුඳුගහහැතැක්ම) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කොළඹගේ මහතාගේ උපදෙස් මත සැරයන් (28849) වීරසේකර නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments
Post a Comment
Your comment will be visible after approval