Insects that damage crops are sent to an island

වගා හානි කරන රිළවුන් සහ වඳුරන් වැනි වන සතුන් දූපතකට ගෙන ගොස් නිදහස් කර, ඔවුන්ට දිනපතා ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දින (11) අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මූලාසනය දරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

"වගා හානි කරන රිළවුන්,
වඳුරන් වැනි වන සතුන් පිළිබඳ සංගණනයක් ලබන 15 වැනිදා රට පුරාම පැවැත්වෙනවා. වගා අස්වනුවලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වෙනවා. මේක අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුමක් ඇහුවාම ඒවාට පිළිතුරු නැහැ," යැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව ගැඹුරින් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා, "බල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගා හානි කරන රිළව්, වඳුරන් වැනි සතුන් දූපතකට හරි ගෙන ගොස් දමා මිනිස්සු අර අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා වගේ දවසක් දවසක් ගානේ ගොස් ඒ සත්තුන්ට කෑම ටික දෙන වැඩපිළිවෙළකට අප යුතුයි," යනුවෙන් විසඳුමක් යෝජනා කළේය.

වන සතුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, "මොනවා හරි විසඳුමක් වැඩපිළිවෙළක් මේ ප්‍රශ්නයට අවශ්‍යයි. මේ වන සතුන්ගේ ප්‍රශ්නයට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න සුදානම් නම් පිළිගන්න අපි කැමැතියි. මේකට විසඳුමක් තියෙනවා නම් ඒක අහන්න අපි කැමැතියි," යනුවෙන් ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.


රට පුරා පැවැත්වීමට නියමිත වන සතුන් සංගණනය ගැන සමහරුන් විසින් කරන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, "මේ වගා හානි වන සතුන්ගේ කරන සංගණනය ගැන සමහරුන් හාස්‍යයට ලක් කරනවා. අපි මේ සත්තු කැලෑවකට හරි කොහේ හරි දූපතකට දාලා හරි කෑම ටික සත්තුන්ට දෙන්න ඕනෑ," යැයි නලින් හේවගේ මහතා අවධාරණය කළේය.

මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී වූ අතර, වගා හානි පිළිබඳ ගැටලු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.

සංගණනයේ ප්‍රතිඵල මත පදනම්ව, වන සතුන්ගෙන් වන වගා හානි අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ. මෙම ගැටලුව ගොවි ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බැවින්, ඒ සඳහා තිරසාර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවය රැස්වීමේදී අවධාරණය කෙරිණි.