
මහනුවර, රජපිහිල්ල මාවතේදී විදේශ සංචාරකයින් පිරිසක් ගමන් ගත් බස් රථයකට ඉදිරියට යාමට නොහැකි වන පරිදි ත්‍රීරෝද රථයක් හරස් කර, එහි රියදුරුට සහ සංචාරක මගපෙන්වන්නාට තර්ජනය කළ පුද්ගලයෙකු මහනුවර පොලිසිය විසින් මාර්තු 11 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රජපිහිල්ල මාවතේම පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. මෙම සිද්ධිය සංචාරකයින් සහ මගපෙන්වන්නා විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් අනතුරුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. සැකකරුට එරෙහිව අයුතු අවහිරය සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑම් ඇති කරන බැවින්, පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධිය බැරෑරුම් ලෙස සලකා විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන බවද වාර්තා වේ.
සංචාරකයින්ට එරෙහිව සිදුවන මෙවැනි අයථා ක්‍රියා වැළැක්වීම සඳහා මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව මහනුවර පොලිසිය ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval