
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමිෂනර් ජනරාල් නිහාල් විජේවර්ධන මහතා විසින් විදේශගත වී රැකියා කරන ලාංකික ශ්‍රමිකයන් බදු දැලට හසු නොවන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැදපෙරදිග, කොරියාව, ජපානය, ඊශ්‍රායලය, යුරෝපය හෝ වෙනත් ඕනෑම රටක නේවාසිකව සිටිමින් රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විසින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව ඔහු තවදුරටත් පැවසීය.
විදේශගත ශ්‍රමිකයන් ලංකාවේ බැංකුවක විදේශ ව්‍යවහාර මුදල්වලින් ගිණුමක් (ඩොලර් එකවුන්ට්) පවත්වාගෙන යන අවස්ථාවක දී හෝ ස්ථාවර තැන්පතු ලෙස මුදල් තබාගන්නා අවස්ථාවක දී, එම ගිණුම් වලින් ලබන පොලිය ද බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වන බව නියෝජ්‍ය කොමිෂනර් ජනරාල්වරයා පැහැදිලි කර ඇත. විදේශයන්හි නේවාසිකයන් ලෙස විදේශ මූලාශ්‍රවලින් ලබන ආදායම් ඔවුන් සතු නිසා සහ බදු වගකීමෙන් නිදහස් නිසා විදෙස්ගත ශ්‍රමිකයන් බදු දැලට හසු කරගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, විදෙස්ගත ශ්‍රමිකයකු ශ්‍රී ලංකාවේ බැංකුවක රුපියල් ලෙස මුදල් තබාගන්නේ නම්, එම ගිණුමෙන් වසරකට ලබන පොලී ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු අවස්ථාවක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවත්, එවැනි අවස්ථාවක දී රඳවා ගැනීමේ බද්දට (Withholding Tax) යටත් නොවන බවත් විජේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පවතින බදු නීති රීති අනුව, ඕනෑම ලාංකිකයෙක් මසකට රුපියල් 150,000ක පොලී ආදායමක් හෝ වසරකට රුපියල් ලක්ෂ 18කට ඉහළ පොලී ආදායම් ලබන අවස්ථාවක දී රඳවා ගැනීමේ බද්දට යටත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල්වලින් අදාළ ගිණුම ඔස්සේ මසකට රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වැඩි පොලියක් ලබන්නේ නම් පමණක් බදු ගෙවීමට යටත් වන බව තවදුරටත් පැහැදිලි කෙරිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමිෂනර් ජනරාල්වරයා තවදුරටත් පැහැදිලි කළේ, විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල්වලින් ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කර එමගින් ආදායම් ලබන අවස්ථාවක දී, එම ව්‍යාපාර ලබන ආදායම් අනුව බදු අය වන බවයි. මෙහිදී ව්‍යාපාරයේ ආදායම් ප්‍රමාණය අනුව බදු වගකීම් තීරණය වේ.
අන්තර්ජාලය හරහා සේවා සපයන්නන්ගේ බදු වගකීම
නියෝජ්‍ය කොමිෂනර් ජනරාල්වරයා විශේෂයෙන් අවධාරණය කළේ,
ලංකාවේ පදිංචි වී සිට අන්තර්ජාලය හරහා විදෙස් රටවලට සේවාවන් ලබා දෙන පුද්ගලයන්ට පමණක් බදු වගකීම ඇති බවත්, ඔවුන් බදු දැලට හසුවන බවත්ය. මෙවැනි අය විදේශගත ශ්‍රමිකයන්ගෙන් වෙනස් වන බව ඔහු පැහැදිලි කළේය.
නිහාල් විජේවර්ධන මහතා තවදුරටත් පැහැදිලි කළේ, අන්තර්ජාලය හරහා සේවා සපයන පුද්ගලයන් තම රැකියාවේ කාර්යයක් සඳහා ලංකාවෙන් පිටතට ගියද, එසේ පිටත් වන්නේ නේවාසිකව රැකියා කිරීමට නොවන බැවින් ඔවුන් බදුවලින් නිදහස් නොවන බවයි. ඒ අනුව, ඔවුන්ට සියයට 15කට උපරිමයකට යටත්ව සේවා අපනයන බදු පැනවෙන බවත්, එම පිරිස විදේශගත ශ්‍රමිකයන්ගෙන් වෙනස් වන බවත් ඔහු අවධාරණය කළේය.
දේශීය ආදායම් පනතට යෝජනා කර ඇති වෙනස්කම් යටතේ, කිසියම් පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ සේවා ලබාදී වසරකට උපයන මුල් රුපියල් ලක්ෂ 18 මෙම නව බද්දෙන් නිදහස් වන බව විජේවර්ධන මහතා පෙන්වා දුන්නේය. එහෙත් ඊට අමතරව ලැබෙන මීළඟ රුපියල් ලක්ෂ 10ක ඉපැයීම් සඳහා සියයට 6ක බදු අනුප්‍රමාණයක් අය කෙරේ. ඉන්පසුව ලබන සියලුම ඉපැයීම් සඳහා සියයට 15ක බදු ප්‍රතිශතයක් සේවා අපනයන කරන පුද්ගලයන්ට පැනවෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමිෂනර් ජනරාල්වරයා අවසානයේ දී අවධාරණය කළේ, මෙම බදු ව්‍යුහය විදේශගතව රැකියා කරන ශ්‍රමිකයන්ට කිසි ලෙසකින් අදාළ නොවන බවයි.
එනම්, විදේශගත ශ්‍රමිකයන් විදේශ රටවල රැකියා කරමින් මෙරටට එවන මුදල් සම්පූර්ණයෙන්ම බදු රහිත වන අතර, ඔවුන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් ලබන පොලියද බදුවලින් නිදහස් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මෙම නිවේදනය අනුව, විදේශගත ශ්‍රමිකයන් සහ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන පුද්ගලයන් අතර බදු ක්‍රියාවලියේ පැහැදිලි වෙනසක් ඇති බව පෙනී යයි. විදේශගත ශ්‍රමිකයන්ට සැලකිය යුතු බදු සහන ලැබෙන අතර, අන්තර්ජාලය හරහා සේවා සපයන්නන්ට නිශ්චිත බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.
රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් රට තුළට ගලා ඒම දිරිමත් කිරීම මෙම බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Comments
Post a Comment
Your comment will be visible after approval