ganemulla-sanjeewa-murder-two-persons-who-provided-sim-cards-arrested

කොළඹ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී සිදුවූ ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, එම සිද්ධියේ වෙඩික්කරු සහ අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී නමැත්තිය සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා සිම් කාඩ්පත් ලබා දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් නිවේදනය කර ඇත.
විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර හිටපු නාවික හමුදා සෙබළෙකු ද සිටින බව

පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත දැනුම් දී ඇත. එම සැකකරුවන් දෙදෙනාගෙන් පැය 72ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසූ අන්දමට, මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර, සෙසු සැකකරුවන් අතර සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම මිනුවන්ගොඩ සහ දූනගහ ප්‍රදේශවල පදිංචි,

වයස අවුරුදු 30 සහ 31 අතර පසුවන පුරුෂයන් දෙදෙනෙකු බව හඳුනාගෙන ඇත. ඔවුන් විෂයෙහි ලබාගත් අධිකරණ රැඳවුම් නියෝග යටතේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර තොරතුරු ලබාගත හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීන් අපේක්ෂා කරයි.
මීට අමතරව, මේ වන විට ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එක් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කරන ලදී. ගනේමුල්ල සංජීව ඝාතනයට ලක්වී දැනට දින දහතුනක කාලයක් ගතවී ඇති අතර, එම අපරාධයේ ප්‍රධාන මෙහෙයුම්කාරිය ලෙස සැලකෙන පින් පුරදේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැත්තිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට මෙතෙක් නොහැකිවී ඇත.