
කෑගල්ල පොලිස් වසමේ දීවෙල පල්ලේගම, දීවෙල උඩගම පදිංචිව සිටි 80 හැවිරිදි බෝධිපක්ෂගේ යන්ති ශීලා මාරසිංහ නමැති අවාහක කාන්තාව ඇයගේ හිසට එල්ල වූ ගල් පහරකින් බරපතල තුවාල ලබා සිහි නැතිව සිටි අතර පෙරේදා (01) පෙරවරුවේ මිය ගොස් ඇති බව කෑගල්ල පොලිසිය විසින් නිවේදනය කර ඇත.
පොලිස් වාර්තා අනුව, මියගිය කාන්තාව තම 103 හැවිරිදි වයෝවෘද්ධ මව සහ විවාහක බාල සහෝදරියක් සමඟ එම නිවසේ පදිංචිව සිට ඇත. මියගිය කාන්තාවගේ මවට කුඹුරු දෙකක හිමිකම තිබූ අතර, එම කුඹුරු ඉඩම් කලකට පෙර දරුවන් විසින් විකුණා එම මුදලින් වයෝවෘද්ධ මවට පින්කමක් සිදු කිරීමට කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
ඉකුත් ජනවාරි 08 වැනි දින මියගිය කාන්තාව අසල්වැසි නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යමින් සිටියදී, ඇගේ මවගේ බාල සහෝදරයාගේ බීමත්ව සිටි පුත්‍රයෙකු හමු වී ඇත. ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසුව, එම තරුණයා ගලක් ගෙන 80 හැවිරිදි කාන්තාවගේ හිසට පහර දී පලා ගොස් ඇත. මෙම සිද්ධිය අසල්වැසියෙකු විසින් දුටු අතර, ඔහු වහාම කාන්තාවගේ නිවසේ සිටි බාල සහෝදරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දී ඇත.
තුවාල ලැබූ කාන්තාව 1990 හදිසි ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඇගේ හිස්කබල පුපුරා ගොස් තිබූ බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත. කාන්තාවට රෝහලේදී ප්‍රතිකාර කර ඉකුත් ජනවාරි 29 වැනිදා නිවසට රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ගල් පහර එල්ල වූ දිනයේ සිට කිසිදු සිහියක් නැතිව සිටි 80 හැවිරිදි කාන්තාව පෙරේදා (01) පෙරවරුවේ මිය ගොස් ඇත.
පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වූ අතර, වයෝවෘද්ධ කාන්තාවගේ මවට අයත්ව තිබූ කුඹුරු දෙක සැකකරු වන දෙදරු පියාට නොදී,
පිට පුද්ගලයෙකුට විකුණා තිබීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් මත මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට පොලිසිය සැක පහළ කර ඇත.
සැකකරු ලෙස හඳුනාගත් වගගේ වසන්ත සම්පත් සිරිසේන (කිරියා යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන) සිද්ධිය වූ මුල් අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඔහු කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය විසින් වාර්තා කර ඇත.
මියගිය කාන්තාවගේ මරණයෙන් පසු, කෑගල්ල පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු වාර්තා කර ඇති අතර, කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සේනක ඉලංගන්තිලක මහතා පෙරේදා (01) මියගිය කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇත.
පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval