Jackson Anthony accident case closed

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 ජූලි මාසයේ සිදුවූ අලි-මිනිස් ගැටුමකින් ඇතිවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට නියෝග කර තිබේ. මෙම අනතුරින් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා බරපතල තුවාල ලබා, දින 500කට අධික කාලයක් සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි අතර, අවසානයේ මිය ගියේය.

තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා විසින් තලාව පොලිසියට මෙම නඩුව අවසන් කරන ලෙස නියෝග කර ඇත්තේ, තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.එම්.එම්.කේ. ලන්සක්කාර මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථවාහන අංශය විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව සැලකිල්ලට ගනිමිනි.


අනතුර සිදුවූ අවස්ථාවේදී, කැබ් රථය පදවමින් සිටියේ ජැක්සන් ඇන්තනී මහතා බව පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දින පන්සියයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබුවද, අවසානයේ මියයාම හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම අනතුර සිදුවී ඇත්තේ 2022 වසරේ ජූලි මස 2 වන දින රාත්‍රී 10.00ට පමණ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදීය. එදින ජැක්සන් ඇන්තනී මහතා සහ තවත් දෙදෙනෙකු ගිරිබාව තමුත්ත ප්‍රදේශයේ පිහිටි හච්චි කුච්චි විහාරස්ථානය හා ඒ අවට පුරා විද්‍යා භූමිය ආශ්‍රිතව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ 'සිංහබාහු' චිත්‍රපටයේ දර්ශන රූගත කිරීමෙන් පසු අනුරාධපුරයේ පිහිටි තම තාවකාලික නවාතැනට පැමිණෙමින් සිටියදී අලියකුගේ ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාද ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයට මදක් පසුපසින් ඔහුගේ වෑන් රථයෙන් පැමිණ ඇති අතර,
අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත්තේ සෝමරත්න දිසානායක මහතා ගමන් කළ වෑන් රථයෙනි.

අනතුරෙන් ජැක්සන් ඇන්තනීගේ සහෝදරයකු වන රංගන ශිල්පී සමන් ඇන්තනී මහතා සහ ජැක්සන් ඇන්තනීගේ ලේකම්වරයෙකු වන ඉරෝෂන් මහතාද තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, ඔවුන් දෙදෙනා පසුව සුවය ලබා ඇත.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයෙන් පසු මෙම නඩුව අවසන් කිරීමට අවසර ලබා දී ඇත.