65-year-old man who molested two SriLankan flight attendants appears in court

ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. මෙම සැකකරු දේශීය හා විදේශීය ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු බවත්, සිද්ධිය සිදුවූ අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි බවටත් වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද (12) දින සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔහුට එරෙහිව විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද පනවා තිබේ.


ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි, යාපනය නාගද්වීපයේ පදිංචි කන්දයියා තුරේසිංහම් නම් වූ 65 හැවිරිදි පුද්ගලයා මෙම සිද්ධියට අදාළ සැකකරු ලෙස හඳුනාගෙන ඇත.

අද අලුයම 12.45ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරණ ගුවන් යානයෙන් ගමන් කරමින් සිටියදී, සැකකරු අධික ලෙස විස්කි මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ. ඉන් පසු ඔහු එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කරමින්,
ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන්ට ද හිරිහැරයක් වන ආකාරයට හැසිරී ඇත.

ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයා මැඩ පවත්වා ගුවන් නියමුවා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇත.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමෙන් පසු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් තොටුපොළ පොලීසිය එක්ව මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් සිදු කරමින් පවතී.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම් නියෝගය සහ ශරීර ඇප කොන්දේසි අනුව, ඔහු ඉදිරි නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණීමට බැඳී සිටී. මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වීමට නියමිත අතර, නැවත විභාග දිනයක් ද නියම කර ඇත.

සිද්ධියට සම්බන්ධ ගුවන් සේවිකාවන් දෙදෙනාගේ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඔවුන්ට සිදුවූ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගුවන් සේවය විසින් කටයුතු යොදා ඇත.

ගුවන් යානා තුළ මගීන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි පියවර ගන්නා බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අමතර ආරක්ෂක විධිවිධාන ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසයි.