two-people-hospitalized-after-being-attacked-with-a-plate-at-a-hotel-in-jaffna

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ වූ පහරදීමේ සිද්ධියක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මන්ත්‍රීවරයා ද තමාට පහර දුන් බවට චෝදනා කරමින් රෝහල්ගතව සිටින බව පොලීසිය වාර්තා කරයි.



සඳුදා (10) දින යාපනය වාලම්පුරි ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම සිද්ධිය වාර්තා වී ඇත. පොලිස් වාර්තා වලට අනුව, හෝටලයේ ආහාර ගනිමින් සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ අනෙක් පාර්ශවය අතර ඇති වූ වාග් සංග්‍රාමයක් ගැටුමකින් කෙළවර වී ඇත.

වැඩිදුර විස්තර අනුව, මන්ත්‍රීවරයා එම හෝටලයේ දී වීඩියෝ පටිගත කිරීමක නිරත වූ අවස්ථාවේ, එහි සිටි පුද්ගලයෙකු තමා වීඩියෝ පටිගත නොකරන ලෙස ඉල්ලා සිට ඇත.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා එම ඉල්ලීම නොසලකා හැර වීඩියෝ පටිගත කිරීම දිගටම සිදු කර ඇති අතර, මේ හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත. මෙම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පිඟන් භාජනයක් භාවිතා කර අනෙක් පාර්ශවයේ පුද්ගලයාගේ හිසට පහර දී ඇති බව චෝදනා කෙරේ.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දැනට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මන්ත්‍රීවරයා ද යාපනය පොලිස් ස්ථානයට ගොස් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

පොලීසිය පවසන පරිදි, දැනට දෙපාර්ශවයෙන්ම ලැබී ඇති පැමිණිලි මත පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විශේෂ අවධානය යොමු කර දෙපාර්ශවයේම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරමින් පවතින බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා සිටියේය.