oracle-supports-digital-transformation-in-srilanka

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (12) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක්විය. ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් පරිවර්තනය, මූල්‍ය තාක්ෂණික සේවා හා ක්ලවුඩ් පහසුකම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියට දායක වීමට ඔරකල් සමාගම ඔවුන්ගේ ක්ලවුඩ් ස්ථාපනය සැපයීමට එකඟතාව පළ කළ අතර, දත්ත ස්වෛරීභාවය හා නියාමන අනුකූලතාවය සහතික කරමින් රජයේ යෙදුම්, ඉලෙක්ට්‍රොනික පාලනය හා ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්,  ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ් පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔරකල් සමාගමට ආරාධනා කර තිබේ.


මුදල් නෝට්ටු අවම ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාවේ ගමන වේගවත් කිරීම සඳහා මූල්‍ය තාක්ෂණික සේවා හා ඩිජිටල් ගෙවීම් පහසුකම් වෙත මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් ද ජනාධිපති හා සිසිලියා මහතා අතර සාකච්ඡා පැවැත්විණි. මෙම අරමුණ වෙනුවෙන් කොළඹ වරාය නගරය තුළ ඩිජිටල් මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස ජනාධිපති විසින් ඔරකල් සමාගමට යෝජනා කෙරුණි. මෙය දකුණු ආසියාවේ AI සහ ක්ලවුඩ් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
මෙම ව්‍යාපෘති පිළිබඳව සලකා බැලීම සඳහා ඔරකල් සමාගමේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යොමු කරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීමක් කළේය. කලාපීය මට්ටමින් සිදුවන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනයට තම සමාගමේ උපාය මාර්ගය සහාය වන බවත්, ඒ අනුව කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ඔවුන්ගේ AI සහ ක්ලවුඩ් මධ්‍යස්ථානය බවට පත් කිරීම සඳහා ඔරකල් සමාගම වැඩි උනන්දුවක් දක්වන බවත් සිසිලියා මහතා පැවසීය.
මෙය ශ්‍රී ලංකාවේ AI මත පදනම් වූ ක්ලවුඩ් විසඳුම් සඳහා කලාපීය නායකයෙකු වීමේ අවස්ථාව උදා කරනු ඇත.

එමඟින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සහ නවතම තාක්ෂණික ආයෝජන වලට පිටිවහලක් සැලසෙනු ඇත.
ජනාධිපති දිසානායක මහතා පැවසුවේ පාලන කාර්යක්ෂමතාව, ආර්ථික දියුණුව සහ ගෝලීය තරඟකාරීත්වය සඳහා  නව තාක්ෂණය භාවිතා කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුරු කරමින්, ඔරකල් සමාගමට රටේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ආරාධනා කළ බව ය.
ඩිජිටල්කරණය කරා ගමන් කරමින් ආර්ථික හා පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ක්ලවුඩ් යටිතල පහසුකම්, මූල්‍ය තාක්ෂණික සේවා භාවිතය වැඩි දියුණු කිරීමටත්, කෘත්‍රීම බුද්ධිය මත පදනම්ව කලාපීය මට්ටමින් තාක්ෂණික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් ඔරකල් සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇති ශ්‍රී ලංකාව, තම පරිණාමන ගමනේ යෙදී සිටී.