Train driver changes, leaving passengers stranded

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 50 දරණ දුම්රියේ රියදුරු, කොග්ගල දුම්රිය ස්ථානයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සේවයෙන් ඉවත් වීම නිසා විශාල මගී පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව වාර්තා වේ.



පෙරේදා (6) උදෑසන මරදානෙන් පිටත් වූ මෙම දුම්රිය කොග්ගල ප්‍රදේශයට ළඟා වූ පසු, රියදුරු තමාගේ අසනීප තත්ත්වය පිළිබඳව ප්‍රධාන රියදුරු කාර්ය භාර නිලධාරියා වෙත දැනුම් දී ඇත. ඉන් අනතුරුව දුම්රිය කොග්ගල ස්ථානයේ නතර කර රියදුරු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර, ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව මගීහු පවසති.

මෙම සිදුවීම වන අවස්ථාවේ දුම්රියේ සැලකිය යුතු මගී පිරිසක් ගමන් කරමින් සිටි අතර, රියදුරුගේ හදිසි ඉවත්වීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

කොග්ගල දුම්රිය ස්ථානාධිපතිවරයා මෙම තත්ත්වය සමනය කිරීමට පියවර ගනිමින්, පැය කිහිපයකට පසු පැමිණි වෙනත් දුම්රියක් මගින් අතරමං වූ මගීන් ඔවුන්ගේ ගමනාන්තයන් කරා යැවීමට කටයුතු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසීමේදී අනාවරණය වූයේ, අදාළ රියදුරු කිසිදු රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වී නොමැති බවත්, ඔහු අද (8) දින සේවයට වාර්තා කරන බව දන්වා ඇති බවත්ය.

මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මගීන් අවධාරණය කරන අතර, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති. දුම්රිය සේවයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි සිදුවීම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ප්‍රවාහන විශේෂඥයෝ පෙන්වා දෙති.