adanis-youngest-son-jeeths-wedding-ceremony-is-simple-with-social-service-photos

ඉන්දියාවේ ලොව ප්‍රමුඛ ධනවතුන් තිදෙනෙකු සිටී. ඉන් දෙපළක් අම්බානි සහෝදරයින්ය. අනෙකා අදානිය. අම්බානි පවුලේ විවාහ මංගල උත්සවයක් පසුගිය වසරේ පැවැත්වුනේ මහ ඉහළිනි. නමුත් අදානිට එවැනි උවමනාවක් තිබී නැත.
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිගේ බාලතම පුත්‍රයා වන ජීත් අදානි සහ ප්‍රසිද්ධ දියමන්ති වෙළෙන්දෙකු වන ජයිමින් ෂාගේ දියණිය වන දිවා ෂා යන දෙදෙනාගේ විවාහ මංගල්‍යය 2025 පෙබරවාරි 07 වන දින අහමදාබාද් නුවර පිහිටි ෂාන්තිග්‍රාම් හි දී සම්ප්‍රදායානුකූල උත්සවයක් ලෙස පැවැත්විණි.



2023 මාර්තු මාසයේදී පෞද්ගලික උත්සවයකදී සිදුකළ සම්බන්ධය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පැවැත්වෙන මෙම විවාහ මංගල්‍යය ජෛන සහ ගුජරාති සම්ප්‍රදායන්ට අනුව පස්වරු 2.00ට ආරම්භ විය. අදානි සමූහයේ දේපළ සංවර්ධන අංශය විසින් ඉදිකර ඇති ෂාන්තිග්‍රාම් නිවාස සංකීර්ණයේදී මෙම උත්සවය පැවැත්විණි.

නව යුවළ විසින් සමාජ සත්කාරක කටයුත්තක් ලෙස ආබාධිත කාන්තාවන් 500 දෙනෙකුගේ විවාහ මංගල්‍ය සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇත. මේ අතර ගෞතම් අදානි මහතා සෞඛ්‍ය, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධනය වැනි සමාජ සුභසාධන කටයුතු සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් පරිත්‍යාග කිරීමට ද එකඟ වී ඇත.

විවාහ මංගල්‍යයට පෙර උත්සව මාලාව පෙබරවාරි 5 වන දින මෙහෙන්දි උත්සවයකින් ආරම්භ වූ අතර, ගුර්දීප් මෙහෙන්දි විසින් ඉදිරිපත් කරන ලද භාන්ග්‍රා නර්තන සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.

මීට අමතරව නව යුවළ විසින් ප්‍රයාග්රාජ් හිදී ගංගා ආරති පූජාවක් ද සිදු කර ඇත.

විවාහ මංගල්‍යය සඳහා ආරාධනා කළ නොහැකි වූ සියලු හිතවතුන්ගෙන් සමාව අයැද සිටිමින් ගෞතම් අදානි මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විවාහ ඡායාරූප බෙදාහැර ඇත. මාධ්‍ය වාර්තා අනුව කයිලී ජෙනර්, කෙන්ඩල් ජෙනර්, සෙලීනා ගොමස් සහ සිඩ්නි ස්වීනි වැනි හොලිවුඩ් තරු සහභාගී වන බවට පළවූ වාර්තා අසත්‍ය බව ගෞතම් අදානි පවසා ඇත. ටේලර් ස්විෆ්ට් ගායිකාව සංගීත සංදර්ශනයක් ඉදිරිපත් කරන බවට පළවූ වාර්තා ද ඇයගේ නියෝජිතයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විවාහ මංගල්‍යය සඳහා ඉන්දීය සම්ප්‍රදායික කලා නිර්මාණ බහුලව යොදාගෙන ඇත. ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී මනීෂ් මල්හොත්‍රා විසින් ආබාධිත පුද්ගලයින්ගේ සංවිධානයක් සමඟ එක්ව අත්කම් ශාල නිර්මාණය කර ඇති අතර, එම සංවිධානයේ ශිල්පීන් විසින් විවාහ උත්සවය සඳහා අවශ්‍ය තැටි සහ නාම පුවරු වැනි දෑ නිර්මාණය කර ඇත.

නාසික් ප්‍රදේශයේ ශිල්පීන් 400 දෙනෙකු විසින් ආරාධිතයින් සඳහා අත්යන්ත්‍ර පයිතානි සාරි විවීම සිදුකර ඇත. පයිතානි යනු සේද සහ රන් හෝ රිදී නූල් භාවිතා කරමින් මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ නිර්මාණය කරන සම්ප්‍රදායික සාරි වර්ගයකි.

පෙර වාර්තා වූ පරිදි ආරාධිතයින් ප්‍රවාහනය සඳහා සුඛෝපභෝගී මෝටර් රථ 1,000කට වැඩි සංඛ්‍යාවක්, විවාහ උත්සව භූමිය සැරසීම සඳහා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ගෙන්වන ලද ලිලී මල් දහස් ගණනක් සහ ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විශේෂ සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, ගෞතම් අදානි මහතා පවසා ඇත්තේ මෙම විවාහය ඉතා සරල, සම්ප්‍රදායානුකූල උත්සවයක් ලෙස පවත්වන බවයි.

"පෙබරවාරි 7 වන දින පැවැත්වෙන ජීත්ගේ විවාහය සාමාන්‍ය ජනතාව මෙන් සරල අයුරින් සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායානුකූලව පවත්වනු ලබනවා," යනුවෙන් මහා කුම්භ මෙලා ආගමික උත්සවයට සහභාගී වෙමින් ගෞතම් අදානි මහතා ප්‍රකාශ කර තිබුණි.