the-game-was-played-by-constable-sandeepa-who-was-captured-in-india-and-brought-to-sri-lanka-against-cattle-herders

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබදකම් පවත්වන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සුළුපටු නැත. ඔවුහු මිල මුදල් සහ වෙනත් ලාභ ප්‍රයෝජන මත මෙම සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ හොර රහසේ සබඳකම් පවත්වති. ඉකුත් දින ගල්කිස්ස පොලිසියෙන්ද මෙවන් දූෂිත නිලධාරියකු ගැන වාර්තා විය. ඩුබායි රාජයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ 'අයි.ඩී.' නමැත්තා සමඟ සබඳකම් පැවැත්වූ මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ ඉල්ලීම මත ගල්කිස්ස පොලිසියෙන් ටී. 56 ගිනි අවියක් සහ පතරොම් 30ක්ද ලබාගෙන ඒවා අයි. ඩී.ගේ හිතවතකු වන බඩෝවිට මැක්කා නමැත්තා වෙත ලබාදී තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි. ජයකොඩි නමැති මෙම කොස්තාපල්වරයා ඉන් අනතුරුව 'අයිඩී' විසින්ම සකස් කරදුන් ගුවන් ගමන් ටිකට්පතක් උපයෝගි කරගනිමින් ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් රතු නිවේදන නිකුත් කිරීමට පොලිසිය පියවගෙන තිබේ.


රවිඳු සංදීප එවන් නිලධාරියෙකි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කොස්තාපල්වරයෙකි. විමර්ශනවලදී හෙළිවන්නේ මොහු සංවිධානාත්මක අපරාධකරුවකු වූ හරක් කටා සමඟ සමීප සබඳකම් පවත්වා හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමට ආධාර අනුබල දුන් තැනැත්තකු බවය. එහෙත් ඔහුගේ උත්සාහය සාර්ථක නොවීය. පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම වළකා ගැනීම සඳහා වුවද වසර දෙකකට පසු ඔහු ඉකුත් දිනෙක ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනිණි.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා 2023 මාර්තු 15 වැනිදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේ එවකට සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ දැඩි උත්සාහය නිසාවෙනි.


මැඩගස්කරයේ බලධාර්න් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වූ අමාත්‍යවරයා එහිදී අත්අඩංගුවට පත් හරක් කටා සහ කුඩු සළිඳු යන අපරාධකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමට පියවර නොගත්තේ නම් අදටත් ඔවුන් එරට නිදහසේ රැඳෙමින් මෙරට විවිධ අපරාධ සිදුකරන බව අමුතුවෙන් කිවයුතු නැත.'ලොකු ගේමක්' ගසමින් මෙලෙස ගෙනා හරක් කටා රැඳවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ වූ අතර ඔවුන්ට පලා යෑමට නොහැකි අයුරින් සී.අයි. ඩී.ය තුළ සහ ඉන් පිටතද එස්.ටී.එෆ්. ආරක්ෂාව පවා යෙදවිණි. එමෙන්ම රඳවා සිටින හරක් කටා සහ කුඩු සළිඳු සමඟ කතාබස් කරන අයගේ, ප්‍රකාශ ලබාගන්නා සී.අයි.ඩී.ය ඇතුළු සෙසු විමර්ශන නිලධාර්න් ගැන සී.අයි.ඩී.යේ ඉහළ මහත්වරුන්ගේ අවධානයද යොමුවී තිබිණි.

අවධානයෙන් පසුවුවද කොස්තාපල් සංදීප මේ සියලු දෙනාටම හොර රහසේ හරක් කටා සමඟ කිසියම් සබඳකමක් ඇති කරගෙන තිබූ අතර උසස් නිලධාරීන් නොමැති කාලවලදී සිය ජංගම දුරකථනය හරක් කටාට ලබාදී ඔහුට ඇමතුම් පවා ලබා දීමට ඉඩ ප්‍රස්තා ලබාදී තිබූ බව එකල කළ විමර්ශනයේදී හෙළිවිය.


මේ හිතවත්කම මත හරක් කටාට සී.අයි.ඩී.යෙන් පැනයෑම සඳහා කොස්තාපල් සංදීපද සහාය වූ අතර හරක් කටාගේ සමීපතමයකු වූ මිදිගම රුවන් නමැත්තා සමඟ සබඳකම් පවත්වමින් හරක් කටාට පැන යෑමට ආධාර අනුබල දීමට කොස්තාපල් සංදීප ඉදිරිපත් වූයේ සී.අයි.ඩී.යේ බොහෝ නිලධාරීන්ට හොර රහසිනි. හිටපු හමුදා කමාන්ඩෝ භටයන් යොදාගෙන රසායනික ප්‍රහාරයක් එල්ලකොට හෝ හරක් කටා සී.අයි.ඩී.යෙන් පැන්නීම අපරාධකරුවන්ගේ අභිලාෂය විණි.මාස දෙක තුනක් මෙසේ සී.අයි.ඩී.යේ රඳවා සිටි හරක් කටා ඒ වන විටත් සී.අයි. ඩී.යේ බොහෝ නිලධාරින් සමඟ හිතවත්ව තිබූ අතර කොස්තාපල් සංදීප හරක් කටා සමීපව ඇසුරු කරමින් ඔහුට අවශ්‍ය ආහාරපානද ලබාදී තිබිණි. ව්‍යායාම කිරීම සහ සිරමැදිරියෙන් පිටතට ගන්නා අවස්ථාවලදී ද කොස්තාපල් සංදීප හරක් කටාට සමීපව කටයුතු කර ඇති අතර එම අවස්ථාවලදී හරක් කටා ඩුබායි රාජ්‍යයට පවා දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවද කියැවිණි.


හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම ස්ථාපිත මහජන පැමිණිලි විමර්ශන අංශය මඟිනි. එය පිහිටියේ හයවැනි මහලේය. සති අන්තයේ හැරුණුකොට දෛනිකව මෙම අංශයට හරක් කටා රැගෙන යනු ලැබුවේ සිවුවැනි මහලේ සිටය. එවැනි අවස්ථාවල විශේෂ කාර්ය බළකායේ අවිගත් නිලධාරියකුද ආරක්ෂාව සඳහා යොදා ගැනිණි. එලෙස මහජන පැමිණිලි අංශයට ගෙනයනු ලබන හරක් කටාගෙන් ප්‍රශ්න කිරීම කෙරෙන්නේද ඊටම අදාළ වූ රහස් පොලිස් නිලධාර්න් කිහිපදෙනකු විසිනි. එදින ඉරිදා දිනයකි.

නිවාඩු දිනයක් බැවින් එදිනට රහස් පොලිස් ගොඩනැඟිල්ලේ වැඩි නිලධාර්න් පිරිසක් රැඳී නොසිටි අතර හරක් කටාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නිලධාර්න් හතර පස් දෙනකු සී.අයි.ඩී.යට පැමිණ තිබිණි. ඒ අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක්ද වූහ. හරක් කථාත් කුඩු සළිඳුත් සිවුවැනි මහලේ සිට හය වැනි මහලට රැගෙන යෑමට නියමිතව තිබූ අතර මෙහිදී කුඩු සළිඳු එම නිලධාරීන්ට පවසා ඇත්තේ අසනීප තත්ත්වයක් නිසා ඔහුට හය වැනි මහලට යෑමට නොහැකි බවකි. ඒ නිසා නිලධාර්න් හය වැනි මහලට රැගෙන යන්නේ හරක් කටා පමණි.

කුඩු සළිඳු සහ හරක් කටා හය වැනි මහලට රැගෙන යෑමේදී එස්.ටී.එෆ්. නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවන අතර කුඩු සළිඳු හය වැනි තට්ටුවට යෑම ප්‍රතික්ෂේප කිරීම මත එස්. ටී.එෆ්. නිලධාරියකුට ඔහුගේ සිර මැදිරිය අසල රැඳීමට සිදුවිණි. ඒ අනුව හරක් කටා රැගෙන හයවැනි මහලට යන්නේ ගිනි අවිගත් එ්ක් එස්. ටී.එෆ්. නිලධාරියකු පමණි.


හය වැනි මහලට රැගෙන යෑමෙන් පසු එහි පුටුවක් මත අසුන් ගන්වා නිලධාරීන් හරක් කටාගෙන් ප්‍රශ්න කිරීම අරඹන අතර එම ප්‍රශ්න කිරීම වන්නේ දෑතට යොදන ලද මාංචුද සමඟිනි. නැවත මාංචු ගැලවෙන්නේ ඔහු සිරමැදිරියට දැමීමෙන් පසුව වන අතර ඒ හැරුණුකොට මාංචු ගැලවීමක් වන්නේ නම් ඒ වැසිකිළි යෑමට අවශ්‍ය විටදී පමණි.මෙලෙස නිලධාර්න් හරක් කටාගෙන් ප්‍රශ්න කරද්දී එතැන සිටි කොස්තාපල්වරයකු පානය කිරීම සඳහා තේ සකසන අතර කොස්තාපල් සංදීප එම පිරිසට කිරිටොෆි සංග්‍රහයක්ද පවත්වනු ලබන්නේ නිවාඩුවට ගෙදර ගිය විට සිය මව සකසා දුන් කිරිටොෆි බවට ඒවා හඳුන්වා දෙමිනි.


කිරීටොෆි කමින් තේ කෝප්පයක රස බලන්නට හරක් කටාටද සිදුවිණි. නිලධාරීන් මෙන්ම කාන්තා නිලධාහුද කිස්ටොෆිවල රස බැලූහ. ඒ සමඟ හරක් කටාට වැසිකිළි යෑමේ අවශ්‍යතාවක් ඇති විය. ඒ සඳහා හරක් කටා වැසිකිළිය තෙක් ගෙන යන්නේ කොස්තාපල් සංදීපය, වැසිකිළියට හරක් කටා රැගෙන ගොස් දෑතට දැමූ මාංචු ගලවා දමන සංදීප හරක් කටාට ශරීරකෘත්‍යය කරගන්නට ඉඩ දී වැසිකිළිය ආසන්නයේම රැඳී සිටින්නේ පැමිණි කාර්ය අවසන් වීමෙන් පසු නැවත මාංචු දමා හරක් කටාව ප්‍රශ්න කිරීම කෙරෙන ස්ථානයට රැගෙන යෑමේ අදහසිනි.

සිය කාර්ය නිමකළ හරක් කටා නැවත ප්‍රශ්න කිරීම කරන තැනට යන විට කිසියම් ගැටලුකාරී තත්ත්වයක නිලධාරීන් සිටින අයුරු පෙනිණි. එක් කොස්තාපල්වරියක මේසය මත හිස තබාගෙන කිසියම් අපහසුතාවකින් සිටින්නීය. තවත් නිලධාර්න් දෙදෙනකු තේ පානය කළ කෝප්ප සේදීම සඳහා ජල කරාමය අසලට ගොසිනි. ඒ හැරෙන්නට ඒ අසල සිටියේ ගිනි අවිය අතට ගත් එස්.ටී.එෆ්. උප පරීක්ෂකවරයා පමණි.



ඒ සමඟම හරක් කථා රැඳී සිටි පුටුවෙන් නැගිට දොර දෙසට දිව යන්නට වෙර දැරූ අතර මේ බව එස්.ටී.එෆ්. නිලධාරියාගේ නෙත ගැටිණි. ඔහු හරක් කටාගේ ගමන වළකන්නට උත්සාහ කිරීමත් සමග හරක් කථා ඔහු වෙතට කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගන්නට තැත් කර තිබේ. කොස්තාපල් සංදීප ඒ දෙස බලා සිටියා මිස හරක් කටා නතර කරලීමට උත්සාහ ගත්තේ නැත. එස්.ටී.එෆ්. භටයා සමග පොර බැදුවද හරක් කටාට එම නිලධාරියා  සතුව තිබූ ගිනි අව්ය උදුරා ගැනීමට නොහැකි විය.


හරක් කටා සමඟ පොරබදමින් එස්.ටී.එෆ්. නිලධාරියා හරක් කථා මෙල්ල කර ගැනීමට සමත් වීමත් සමඟ එම ඒකකයට පැමිණි සෙසු නිලධාහු දැඩි වෙහෙසකින් පසු හරක් කටා කුදලාගෙන ගොස් සිරමැදිරිය තුළට දැමීමට යුහුසුලු වූහ. සී.අයි.ඩී.ය තුළ ඇති වූ මෙම කලබැගෑනියත් සමග කොස්තාපල් සංදීපද අතුරුදන් විය.සිද්ධිය සැලවීමත් සමඟ සෙසු භටයන්ද හය වැනි මහලට පැමිණ එම මහලේ ආරක්ෂාව තර කළ අතර ඒ සමඟම වූයේ කුමක්ද යන්න සොයා ගැනීම සඳහා විමර්ශනයක්ද ඇරැඹිණි. ඒ වන විට කොස්තාපල් සංදීප සී.අයි.ඩී.යෙන් අතුරුදන්වී සිටීම විමර්ශන නිලධාට සැක ගෙන දුන් අතර සී.සී.  ටී.වී. කැමරා නිරීක්ෂණය කරද්දී පෙනී යන්නේ කොස්තාපල් සංදීප පොලිස් මුලස්ථානයෙන් පිටව මාර්ගය දිගේ දිවයන අයුරුය.


ඒ අනුව විමර්ශකයන් නිගමනය කළේ හරක් කටාට සී.අයි.ඩී.යෙන් පැන යෑමට කොස්තාපල්වරයා ආධාර අනුබලදී ඇති බවය. හරක්කටා වැසිකිළිය කරා ගෙන ගොස් නැවත ප්‍රශ්න කිරීම කරන තැනට ගෙන එන මොහොතේ කොස්තාපල්වරයා හරක් කටාගේ දෑතට හරිහැටි මාංචු නොදා ඇති බවද විමර්ශනයේදී අනාවරණය විය. එමෙන්ම කොස්තාපල්වරයා සිය නිවෙසින් රැගෙන පැමිණි බව කියමින් බෙදාදුන් කිරිටොෆිවලට කිසියම් රසායනික ද්‍රව්‍යයක් එකතු කිරීම නිසා නිලධාර්නියන්ට මත්ගතියක් ඇති වන්නට ඇති බවත් එයද සංදීප විසින් හරක් කටාට පැන යෑමට කරන ලද සැලසුමේ කොටසක් බවත් විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නට විය.

සිද්ධියෙන් පසු කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ හරක් කටා එලෙස සී.අයි.ඩී..යෙන් පලා යෑමෙන් පසු ඔහු රැගෙන යෑමට පවා පොලිස් මූලස්ථානය අසල මෝටර් රථයක්ද සූදානම් කර තිබූ බවකි. එම සැලැස්ම වර්ථ වූ තැන පලායන කොස්තාපල්වරයා ඉන් පසුව සූදානම් කර තිබූ වාහනයකින් කඩවත ප්‍රදේශයට පලා ගොස් ඇති බවත් අනාවරණය කර ගත හැකි විණි.


සිද්ධියේ සුලමුල සොයා ගැනීමට සහ සිද්ධිය සැලසුම් කළ ආකාරය දැන ගැනීමට කොස්තාපල් සංදීප අත්අඩංගුවට ගත යුතු බව දත් විමර්ශකයන් ඔහු සොයා ගැනීමට වසර දෙකකට ආසන්න කාලයක් වෙහෙසුණද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොවිණි.පසුව නිලධාරීන් අනාවරණය කරගත්තේ ඔහු මෙරටින් පලායන්නට ඇති බවය. කෙසේ වෙතත් හරක් කටා පලා යන්නට උත්සුක වන මොහොතේ සී.අයි.ඩී.යේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අක්‍රිය වී තිබීම විමර්ශනයට කිසියම් බාධාවක්ද ගෙන දුනි.


කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ එක්වූ ත්‍රස්ත මර්දන කොට්ඨාසය පලාගිය සංදීප රාලහාමි සොයා ගන්නට දැඩි උත්සාහයක් ගත් අතර සී.අයි. ඩී.යේ තවත් කොස්තාපල්වරුන් කිහිපදෙනකුද සී.අයි.ඩී.යට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමක්ද සිදුවිණි. ඒ හරක් කටාට පලා යෑමට ආධාර අනුබල දුන් බවට සැක කරමිනි. කන්තලේ, සේරුනුවර පදිංචි

රවිඳු සංදීප ගුණසේකර නම් වූ මෙම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු සොයද්දී අනාවරණය වූ තවත් කරුණකි. ඒ ඔහු සිද්ධියට මාසයකට පමණ පෙර විදෙස් ගමන් බලපත්‍රයක්ද සකස් කරගෙන ඇති බවකි. මේ අතර ඔහු පලාගිය ස්ථානය සොයා ගැනීම සඳහා ඔහුගේ පෙම්වතියගෙන්ද නිලධාර්ග් ප්‍රශ්න කළ අතර ඇය ප්‍රභූ ආරක්ෂක අංශයක රාජකාරි කළ කොස්තාපල්වරියක් වූවාය. ඇගෙන් සංදීප ගැන එතරම් තොරතුරක් දැන ගැනීමට නොහැකි වුවද ඔහු කොයි මොහොතක හෝ විදේශගත වන බව ඇයට පවසා තිබිණි. ඉන් අනතුරුව නිලධාරීන් කණ්ඩායමක් සේරුනුවරට ගොස් සංදීපගේ ඥාතීන්, සොහොයුරන්ගෙන් ප්‍රශ්න කරමින් ඔහු පලාගිය තැනක් සොයා ගැනීමට උත්සුක වූ අතර ඒ සඳහා සංදීපට අයත් ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක්ද නිලධාර්න් සිය භාරයට ගෙන නික්ෂණය කරන්නට විණි.


කෙසේ වෙතත් දින කිහිපයකට පසු තමා විදේශගත වූ බව සංදීප ඔහුගේ ඥාතීන්ට දන්වා තිබූ අතර ඒ අනුව ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුද නිකුත් කර තිබිණි.සංදීප සහ තවත් තිදෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනෙනුයේ එම රතු වරෙන්තුවලට අනුව බව කියයි. එලෙස අත්අඩංගුවට ගැනුණු සංදීප ඇතුළු සිවුදෙනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ඉකුත් 19 වැනිදා චෙන්නායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබූහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාර්න් මෙරටට රැගෙන පැමිණි සංදීප ඇතුළු සිවුදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලදී. එම ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- කීර්ති මෙන්ඩිස්