
කටුනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 1.5 ක වටිනාකමින් යුත් විදේශීය සිගරට් තොගයක් රට තුළට ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකික මගී කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වූ රූපලාවන්‍ය ශිල්පිනියක වන සැකකාරිය පෙබරවාරි 22 වන දින පස්වරු 3.30 ට ඩුබායි නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් යානා සමාගමේ 8D-824 ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඇගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව විදේශීය සිගරට් දඬු 10,000 ක් (කාටුන් 50 ක්) සොයාගෙන ඇත. මෙම සිගරට් තොගය තීරුබදු ගෙවීමකින් තොරව නීති විරෝධී ලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
සැකකාරිය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, පෙබරවාරි 25 වන අඟහරුවාදා දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා ගුවන්තොටුපළ තුළ දැඩි නිරීක්ෂණයක් පවත්වන බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.