
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශන වාර්තා අනුව, සැකකරු තම වට්ස්ඇප් ගිණුම භාවිතා කරමින් තම ලිංගික අවයව ප්‍රදර්ශනය කරන ඡායාරූප, අසභ්‍ය වීඩියෝ පට සහ හඬපට යොමු කරමින් කාන්තාවන්ට අයුතු ලිංගික යෝජනා සහ හිරිහැර සිදු කර ඇත. මෙම සිදුවීම් සම්බන්ධයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
පරීක්ෂණ මගින් හෙළි වී ඇති ආකාරයට, මෙම කාන්තාවන් තම යතුරුපැදි අලුත්වැඩියා කිරීම සඳහා සේවා මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී එහි හිමිකරු වන සැකකරු විසින් ඔවුන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ. අනතුරුව මොහු තම වට්ස්ඇප් ගිණුම හරහා මෙම කාන්තාවන්ට අශෝභන ඡායාරූප, වීඩියෝ හා හඬපට යොමු කරමින් ලිංගික හිරිහැර සිදු කර ඇති බව තහවුරු වී තිබේ.
සිදු කරන ලද විමර්ශන කටයුතු වලට අනුව 2025 පෙබරවාරි 17 වන දින සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර, පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරු 2025 පෙබරවාරි 18 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 පෙබරවාරි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
මෙවැනි සයිබර් අපරාධ වැළැක්වීම සඳහා සහ සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කෙරෙන ලිංගික හිරිහැර හා අපයෝජනයන් වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මහජනතාවට ආරාධනා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval