
පුත්තලම දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුත්‍රයා නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ චෝදනාව යටතේ අද (18) දින නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් පසුගිය 06 වැනි දින අලුයම සිදු කළ හදිසි වැටලීමකදී වාහනයේ කොටස් කර සඟවා තිබූ බොහෝ කොටස් සොයා ගැනීමට සමත් වූ නමුත් සැකකරුවන් එදින සිට අතුරුදන්ව සිටි අතර අද අල්ලාගන්නට හැකි විය. සැකකරුවන් දෙදෙනා හෙට (19) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විමර්ශන වාර්තා අනුව, හිටපු මන්ත්‍රීවරයා විසින් භාවිත කළ බවට සැක කෙරෙන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධී ලෙස එකලස් කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන අංශය විසින් දින කිහිපයක් පුරා විමර්ශන පවත්වා ඇත.
විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අනාවරණය වූයේ එම වාහනය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබූ බවයි. වාහනයේ චැසිය සහ බඳ කොටස හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ආසන්න වෙනත් නිවසක සඟවා තිබූ අතර, එන්ජිම ඇතුළු අනෙකුත් කොටස් ඔහුට අයත් පුත්තලමේ පිහිටි පොල් වත්තක සඟවා තිබී සොයාගෙන ඇත.
විමර්ශන නිලධාරීන්ගේ පරීක්ෂණවලින් තවදුරටත් හෙළි වී ඇත්තේ මෙම වාහනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ප්‍රාඩෝ රථයක එන්ජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් නීති විරෝධී ලෙස ලියාපදිංචි කර ඇති බවයි. එමෙන්ම, හිටපු මන්ත්‍රීවරයා භාවිත කළ වාහනයේ මූලික හඳුනාගැනීමේ අංක කොටා දමා ඇති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ.
පසුගිය කාලයේ පොලීසිය විසින් නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන රාශියක් අත්අඩංගුවට ගැනීමත් සමඟ, හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුත්‍රයා එක්ව මෙම වාහනය කොටස් කර සඟවා ඇති බව විමර්ශකයින් සඳහන් කරයි.
නීතිවිරෝධී ලෙස එක්රැස්වීමක සාමාජිකයෙකු හා නීතිවිරෝධී ලෙස ගිනි අවි සන්තකව සිටි සිද්ධියක් සම්බන්ධයෙන් ශාන්ත අබේසේකර 2004 දීත්, පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිදුවීමක් නිසා ඔහුගේ පුත් 2019 වසරේදීත් අත්අඩංගුවට පත්වූවන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval