School teacher hospitalized after being hit with cinnamon sticks at sports meet

බෙන්තොට ඇළකාක මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියෙන් පසු නිවසට යමින් සිටි ගුරුවරයෙකුට කුරුඳු පොලු වලින් පහර දුන් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ඌරගස් මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේ විස්තර අනුව, පසුගිය 13 වැනි දින බෙන්තොට ඇළකාක මහා විද්‍යාලයේ පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා හා එල්ලේ තරඟාවලිය අතරතුර අනවසරයෙන් පාසල් භූමියට ඇතුළු වූ පිරිසක් සමඟ ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම පහරදීම සිදු වී ඇත.

පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට, පාසල් භූමියෙන් ඉවත් වන ලෙස ගුරුවරුන් විසින් දැනුම් දුන් විට එයට කෝපයට පත් පිරිස, පසුව ගුරුවරයා පාසල හැර යන අවස්ථාවේ ඔහුගේ යතුරුපැදිය මඟ හරස් කර කුරුඳු පොලු වලින් පහර දී ඇත.



මරණ බියෙන් යතුරුපැදිය අතහැර පලා ගිය ගුරුවරයා අනතුරුව සිය සහෝදර ගුරුවරුන් දැනුවත් කිරීමෙන් පසු, සුවසැරිය ගිලන් රථයකින් බෙන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඇළකාක මහා විද්‍යාලයේ ගුරුවරු ඊයේ (14) දින පාසලේ රාජකාරියට වාර්තා නොකළ බව වාර්තා වේ. තවද, සිද්ධියෙන් පසු තවත් ගුරුවරුන් කිහිප දෙනෙකුට ද ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් ඔවුන් විසින් පොලිසියේ පැමිණිලි සටහන් කර ඇත.

ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයේ උපදෙස් මත ඌරගස් මංහන්දිය පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර, අධ්‍යාපන බලධාරීන් සහ පොලිසිය විසින් පාසලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.