
"තවත් දරුවකුට ලෝකේ දකින්න මගේ මැණිකගේ අවයව ටික දෙන්න අවස්ථාවක් තියෙනවා දෙමු නේද අම්මා කියල දොස්තර මහත්වරු කිව්වා. අපි දෙපාරක් හිතුවේ නෑ කැමති වුණා. මේ පින කරගෙන මගේ පුතා දිවිය ලෝකේ යන්න මගේ අම්මා.... මේ මනුස්ස ලෝකෙට ආයේ එන්න එපා පුතේ අම්මා කෙනෙක්ට ගින්නක් දෙන්න ආයේ මේ මනුස්ස ලෝකෙට එන්න එපා රත්තරං. යැයි පොලොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගොස් පාපන්දු ගෝල සැකිල්ලක් කඩා වැටීමෙන් දිවි අහිමි වූ කවිඳු දෙනුවන් දරුවාගේ මව සිය පුතු අහිමි වූ වේදනාව කඳුළු පිරි දෑසින් වචනයන්ට පෙරළා ඈ මෙසේද කීවාය.
මේ වගේ ගින්නක් දකින ඇස් ආයේ මොකටද එදාම මමත් මැරිලා යන්න තිබුණේ.
මගේ මැණික දලා අක්ක විතරක් එක්කගෙන එන්න නෙවෙයි එදා අපි ගෙදරින් එළියට බැස්සේ. ඇයි මේ වගේ ගින්නක් අම්මට දුන්නේ පුතේ. ගිනිගෙන දැවෙනවා අම්මගේ පපුව මගේ පුතේ.
අනේ ඒ යකඩ බට කැඩිලා වැටෙයි කියල දන්නවනම් ළමයින්ට ඕක උස්සන්න දෙන්නේ නෑ. කවුරුත් විපතක් වෙයි කියල හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. කෝච්චියත් ඇවිල්ලා උස්සන්න හැදුවා කාටවත් බැරිවුණා. ළමයින්ට අයින්වෙන්න කියල මගේ කොල්ලා අඩි දෙකක් පස්සට යනකොටම අනේ ඒක මගේ රත්තරන්ගේ බෙල්ලේ පිටිපස්සට කඩාගෙන වැටුණි. අනේ මම දැක්කේ එව වරමයි. මුළු පරිසරයම නිලංකාර වුණා වගේ දැනුනා දෙයියෝ. මම පටාචාරා වගේ දුව දුවා මගේ මැණික බේරලා දෙන්න කිව්වා අනේ හැමෝම ඉක්මනට අරගෙන ගියා. ඒ වෙනකොටත් පණ ටික ගිහින්ද කොහේද තිබුණේ. මගේ රන්කඳගේ අත කඩාගෙන වැටුනා ඒ මගේ ඇස් පනා පිටමයි. උහුලන්න බෑ මගේ අම්මා මම මේ ගින්නෙන් දැවෙනවා මගේ පුතේ.
විනාඩි පහක්වත් ගියේ නෑ ඉස්පිරිතාලෙට අපි ගියා. අනේ ඒ දෙවිවරු වගේ දොස්තර මහත්වරු ගොඩාක් මහන්සි වුණා. අනේ අපි නුවර කොළඹ හරි ගෙනියමු ඩොක්ට කියන කොට එහෙන් පණිවිඩේ ආවොත් ගෙනියවූ අම්මා අපිත් ගොඩාක් මහන්සි වෙනවා කිව්වා. අනේ මම දෙයියන්ගෙන් පිහිට පැතුවා කවුරුත් මට පිහිට වුණේ නෑ. මගේ මැණික හොරු අරගෙන ගියා.
අනේ එදා උදේ අම්මා මට අලුවා කන්න ආසයි කිව්වා. හවසට හරි ඇවිත් හදලා දෙන්නම් පුතේ කිව්වාම හා කියලා ඔළුවත් වැනුවා. අනේ මගේ අම්මා මගෙන් අලුවත් ඉල්ලුවා මට හදලා කන්න දෙන්න බැරිවුණා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බී.2.පී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එෆ්.කේ.ජී. කවිඳු දෙනුවන් සේනාරත්න (11) නමැති පලුගස්දමන මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
(මැදිරිගිරිය - චාපා මධුභාෂිණී)
