thushara-speaks-about-switzerland-about-namals-exam-fraud-yesterday-14

නාමල්ගේ විභාග වංචාව ගැන තුෂාර ජයරත්න මහතා ස්විට්සර්ලන්තයේ සිට ඊ‍යේ (14)  යූටියුබ් ඔස්සේ කථාවක් කර තිබේ. මෙම විමර්ශන වලදී ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ඔහු වසර 14 ක් තිස්සේ එරට සැඟවී සිටියි.
මේ වන විට නාමල් රාජපක්ෂගේ නීති විභාග වංචාව පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කිරීම ඓතිහාසික ජයග්‍රහණයක් බව  තුෂාර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

අවුරුදු දහහතරක් තිස්සේ මේ සඳහා සටන් කළ බවත්, වර්තමාන පොලිස්පතිවරයා කිසිදු බලපෑමකට යට නොවී මෙම පරීක්ෂණය සිදු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පවසයි. නාමල් රාජපක්ෂ විභාග වංචා කළ බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවද ඔහු අවධාරණය කරයි.



"පොලිසිය නිසි ලෙස විමර්ශනය කළහොත් මෙහි සිවිල් වරදක් මෙන්ම අපරාධ වරදක්ද තිබෙනවා. මොකද, පැහැරගැනීම් සහ පහරදීම් පැහැදිලිවම අපරාධ වැරදි. මම බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම ශ්‍රේෂ්ඨාධිකරණයත් පරීක්ෂණ ආරම්භ කරයි කියලා. නාමල් රාජපක්ෂ නීතිඥයෙක් ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳව නීතිඥ විනය කමිටුව ඉදිරියේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි," ජයරත්න මහතා පැවසීය.

පසුගිය වසර දහහතර තුළ තම ජීවිතය බේරා ගැනීමටත්, නාමල් රාජපක්ෂගේ විභාග වංචාව ලෝකයට හෙළිදරව් කිරීමටත් උදව් කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන ඔහු, ඔවුන්ගේ සහාය නොතිබුණා නම් තමන්ටද ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවූ දේ සිදුවීමට ඉඩ තිබූ බව පැවසීය.

විශේෂයෙන් BBC හි සරෝජ්, Telegraph හි උවිඳු, බොස්ටන් ලංකා ප්‍රධානීන් ඇතුළු මාධ්‍යවේදීන්ට ස්තූතිය පළ කළ ඔහු, නීතිඥ ගීතාංජන ගුණතිලක මහතාගේ නීතිමය සහය ඉතා වැදගත් වූ බව සඳහන් කළේය. මියගිය වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාද කෘතවේදීව සිහිපත් කළ ඔහු, එවකට රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ජයලත් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ මැදිහත්ව තම ජීවිතය බේරා ගත් බව පැවසීය.



"මම සූදානම් සියලු සාක්ෂි ඉදිරිපත් කරන්න. ලංකාවේ හොඳම සාක්ෂිකරුවන් ඉන්නවා. BBC හි සරෝජ්, Telegraph හි උවිඳු සතුව වටිනා ඡායාරූප තිබෙනවා. මේ සියලු කරුණු එකතු කළොත් පොලිසියට සාර්ථක නඩුවක් ගොනු කළ හැකියි," ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනා විශ්වාස කළ නොහැකි බවත්, ස්වාධීන ආයතනයක් පිහිටුවා මෙවැනි පරීක්ෂණ පැවැත්වීම වඩා සුදුසු බවත් ඔහු අවධාරණය කළේය.

"මගේ ජීවිතය ආරක්ෂා කරගන්න උදව් කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. මේ සිද්ධිය නිසා මගේ පියා අවුරුදු එකහමාරක් ඇඳට වී සිට මිය ගියා. මට පියාගේ අවමංගල්‍යයට පමණයි යන්න පුළුවන් වුණේ. මගේ මව මම පිටරට ගියාට පසුව පාකින්සන් රෝගයෙන් මිය ගියා. මේ සියලු දෙනා දරුණු මිලක් ගෙව්වා," ඔහු සඳහන් කළේය.

"මම නැවත වරක් කියනවා, මේ සටනට උදව් කළ සියලු දෙනාට ගරු කිරීමක් ලෙස නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල විභාග වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කරනවා. ඒ වෙනුවෙන් ගෙවන්න වන මිල කුමක් වුවත් මම ගෙවන්න සූදානම්," ඔහු අවධාරණය කළේය.

අලුත්කඩේ සමහර නීතිඥවරු අවංකව මෙම සිද්ධිය මතු කර මෙම වංචාව නවත්වන්නට උත්සාහ කළ බවද ඔහු සඳහන් කළේය. විශේෂයෙන් වර්තමාන කැබිනට් අමාත්‍යවරයෙකු මෙම සිද්ධිය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

"අවසාන මොහොත දක්වා, ඕනෑම මිලක් ගෙවා මේ කාලකණ්ණි ක්‍රියාවේ නිරත වූ අයගේ කළු කෝට්ට ගලවන්න මට කළ හැකි සෑම දෙයක්ම කරනවා," යැයි තුෂාර ජයරත්න මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින්