malaysian-youtuber-saves-sri-lankan-youth-who-was-drowning-at-diyaluma-falls

බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දියලුම දිය ඇල්ල අසල සිදුවූ හදිසි අනතුරක් අවස්ථාවේ මෙරට සංචාරයක නිරතවූ මැලේසියානු කාන්තාවක වහා ක්‍රියාත්මකවී ශ්‍රී ලාංකික තරුණයෙකු බේරාගත් පුවතක් වාර්තාවේ.

ෆරා පුත්‍රි මුල්යානි නමැති මෙම මැලේසියානු සංචාරික කාන්තාව යූටියුබ් ඔස්සේ වීඩියෝ ඉදිරිපත්කරමින් සංචාරක වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් දරන කෙනෙකි.
ඇය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම සිදුවීම වාර්තා වී ඇත. ඇගේ පුද්ගලික වීඩියෝ උපකරණයේ සටහන් වූ දර්ශන වලට අනුව, ගැඹුරු ප්‍රදේශයකට පය තැබීමෙන් පසු ජලයට වැටී සිටි තරුණයෙකුගේ මිතුරන් උදව් පතා කෑ ගසනු දක්නට ලැබේ.


අදාල ස්ථානයේ සිටි ඇය වහාම ක්‍රියාත්මක වෙමින් දියට පැන එම තරුණයා ගොඩබිමට ගෙන ඒමට සමත් වී ඇති අතර, ඉන්පසු ඔහුගේ මිතුරන් විසින් ඔහු රැගෙන ගොස් ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්, ෆරා පුත්‍රි මුල්යානි දිය ඇලි ආශ්‍රිත අවදානම් තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බව අවධාරණය කර ඇත.
"මෙම සිදුවීම මගේ සංචාරයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දිය ඇලි ආශ්‍රිත අවදානම් ගැන වැඩි පිරිසක් දැනුවත් විය යුතුයි. මන්ද ජල පහර ඉතා ගැඹුරට වැටෙන නමුත් සමහරු අසරණ වන්නේ පිහිනීමට උපකාරී වන ජල ප්‍රවාහයක් පහළින් නොමැති නිසයි! ඔබ පිහිනුම් කරුවෙකු නොවේ නම්, මෙය තවත් අවදානම් සහගත වෙනවා! ඇත්ත වශයෙන්ම, මේ සිදුවීමෙන් පසු මම බොහෝ දේවල් ගැන සිතා බැලුවා,"
යනුවෙන් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පණිවිඩයක සඳහන් කර තිබේ.
ඇය එම සිදුවීමේ වීඩියෝ කොටස්ද යූටියුබ් ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.
ඇයගේ වීර ක්‍රියාව සමාජ මාධ්‍ය තුළද දැඩි පැසසුමට ලක්ව ඇත.