ganemulla-sanjeewa-murder-updates

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



සමිඳු, මහේෂ් හා පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

විමර්ශන වාර්තා අනුව, වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වූ සමිඳු දිල්ෂාන් පියුමංග කදනාරච්චි අත්අඩංගුවට ගත් පසු එම සැකකරු පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට සහය දුන් මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වූ මහේෂ් සම්පත් ප්‍රියදර්ශන යන අය අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනා පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ගිනි අවි ආඥාපනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
මේ අතර සිද්ධියට සම්බන්ධ වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූ කරුණු අනුව, මීගමුව පොලිස් අපරාධ අංශයේ සේවය කළ වයස අවුරුදු 25ක පොලිස් නිලධාරියෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ගිනි අවිය රැගෙන ආ බවට සැක කරන කාන්තාව සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට හෙළි වී ඇති මෙම නිලධාරියා අධිකරණ රාජකාරියේ යෙදී සිටි අයෙකි.



මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නම පැටලුවාට මෝසමක්

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස වැරදියට වාර්තා වීම හේතුවෙන් එම නම දරන පුද්ගලයෙකුගේ පවුලට අගතියක් සිදුව ඇති බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ දසුන් පෙරේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ඝාතනයට සම්බන්ධ සැකකරු සහ මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යනු වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු බවයි.
ඊයේ පොලිසිය මාධ්‍ය වෙත මෙම නම ලබාදුන් නමුත් අද දින අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඒ නම වෙනුවට සමිඳු දිල්ෂාන් පියුමංග මෙම අපරාධය කර ඇතැයි සොයාගත් බව පැවසීය.
කෙසේ වෙතත් අධිකරණය පැවසුවේ මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන නම ඇති අයෙකු අදිකරණයට ඉදිරිපත් කර නැති නිසා මෝසම දැනට අදාළ කරගන්නට අපහසු බවයි.

දේහය භාරගන්න සංජීවගේ මව ඇවිත්

මේ අතර දේහය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත්නොවී පැය 24 කට වැඩි කාලයක් ප්‍රශ්නයක්ව පැවතීමෙන් පසු
ඝාතනයට ලක් වූ ගනේමුල්ල සංජීවගේ මව විසින් මෘත දේහය භාර ගැනීමට පැමිණ ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියගේ නියෝග පරිදි කඩිනමින් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.



පොලිසිය දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට අමතරව, ගිනි අවිය සැපයීමට සහය දුන් කාන්තාව ඇතුළු තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සොයමින් සිටී. ගිනි අවිය ලබා ගත් ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් දින 90ක් රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය ඉල්ලා සිටීමට නියමිතය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, සැකකරුවන් අධිකරණයේ අවසරයකින් තොරව වෙනත් ස්ථානවලට රැගෙන නොයාමට සහ නීතිඥවරුන් දෙදෙනෙකුට ඔවුන් හමුවීමට අවස්ථාව ලබා දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.