former-dig-lalith-jayasinghe-who-freed-those-who-murdered-vidya-girl-sentenced-to-4-years-in-prison

වව්නියාව මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට අද (20) වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. මෙම දඬුවම නියම කර ඇත්තේ 2015 වසරේ පුංගුඩුතිව් ප්‍රදේශයේදී සිදුවූ දහඅට හැවිරිදි පාසල් සිසුවියක වූ ශිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරීමට සහය දීම සම්බන්ධයෙනි.



මහාධිකරණය විසින් ඔහුට රුපියල් 50,000ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කර තිබේ.

විද්‍යා ඝාතන සිද්ධියේ වරදකරුවන් වූ සුවිස් කුමාර් ඇතුළු චූදිතයන් හත් දෙනෙකුට 2017 වසරේදී යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඬුවම් නියම කර තිබුණි. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ සුවිස් කුමාර් නමැත්තාට රැකවරණය සැපයීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එකල දැඩි චෝදනා එල්ල විය.

මේ අතර, කහවත්ත නගරයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන්ද ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබේ. 2015 ජනවාරි 5 වැනිදා කහවත්ත නගරයේ ප්‍රචාරක රැස්වීමක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරයකදී පුද්ගලයෙකු ඝාතනය වී තවත් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරගේ නම පොලිස් වාර්තාවට ඇතුළත් නොකරන ලෙස

බලපෑම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් යාපනය මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර නැමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය. මෙම සිද්ධියට සහාය දැක්වූ බවට චෝදනා ලැබූ ශ්‍රී ගජන් නමැත්තාටද වෙනම නඩුවක් පවරා තිබේ.