indian-youtube-star-causes-huge-controversy-after-making-a-mistake-while-judging-a-reality-show

ඉන්දීය සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන රන්වීර් අල්ලාබාදියා, 'ඉන්දියාස් ගොට් ලේටන්ට්' නම් යූටියුබ් රියලිටි තරඟයේදී සිදු කළ අශෝභන ප්‍රකාශයක් දැවැන්ත විවාදයකට තුඩු දී තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග, මරණ තර්ජන හා අන්තර්ජාල අන්තර්ගත නියාමනය පිළිබඳ සමාජ සංවාදයක් ද ඇති වී තිබේ.

විනෝදාත්මක තරඟ වැඩසටහනේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළ අල්ලාබාදියා, තරඟකරුවෙකුගෙන් දෙමාපියන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ ඉතා අශිෂ්ට ප්‍රශ්නයක් විමසා ඇත. ඔහු තරගකරුට දෙමාපියන් සමග අඹුසැමි සබඳතා පවත්වන්නට ප්‍රසිද්ධියේ යෝජනා කර ඇත.එතුලින්  වැඩසටහන නරඹන්නන්ට විනෝදයක් එක්කිරීමට උත්සාහ දරා ඇත.මෙම ප්‍රශ්නය සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ දැඩි විරෝධයක් ඇති වී තිබේ.



මිලියන 8ක පමණ රසික පිරිසක් සිටින 'බියර්බිසෙප්ස්' නම් යූටියුබ් නාලිකාවේ හිමිකරු වන අල්ලාබාදියා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් 'ජාතික නිර්මාණකරුවන්ගේ සම්මානයක්' ද වරෙක හිමි කරගත් අයෙකි. ඔහු ඉන්දීය ඇමතිවරුන්, බොලිවුඩ් නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් හා හොලිවුඩ් නළු නිළියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි.

සිද්ධියෙන් පසු යූටියුබ් සමාගම විසින් අදාළ වීඩියෝව ඉවත් කර ඇති අතර, අල්ලාබාදියාට එරෙහිව පොලිස් පැමිණිලි රැසක් ගොනු කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් තාවකාලිකව තහනම් කර ඇත.

හිටපු WWE මල්ලවපොර ක්‍රීඩක සෞරව් ගුර්ජාර් විසින් අල්ලාබාදියාට එරෙහිව ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති අතර, ඔහුගේ සමාව ප්‍රතික්ෂේප කර දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇත. මේ අතර අල්ලාබාදියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් නීතිමය ආරක්ෂාව ඉල්ලා සිටීමට සිදුව තිබේ.



මෙම තත්පර ගණනක වැරදීම කෙතරම් බලපා ඇතිද යත් රියිලිටි තරගයාවලිය පවා නතරකරවා ඇත.වැඩසටහනේ නිර්මාතෘ සමය් රයිනා විසින් 'ඉන්දියාස් ගොට් ලේටන්ට්' හි සියලු කොටස් යූටියුබ් වෙතින් ඉවත් කර ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා සහය දීමට එකඟ වී තිබේ.

මෙම සිද්ධිය ඉන්දියාවේ කතාකිරීමේ නිදහස සහ වගකිවයුතු අන්තර්ගත නිර්මාණය පිළිබඳ සංවාදයක් ද ඇති කර තිබේ.