It-is-a-crime-to-seek-out-strangers-and-deceive-those-you-love

සබඳතා බිදෙන්නත්, අඩපණ වෙන්නත් ප්‍රධාන හේතුවක් තමා පෙම්වතුන්, අඹු-සැමියන් එකිනෙකාට බොරු කීම, වංචා කිරීම නේ ද? අද අපි ඒ ගැන ටිකක් කතා කරමු ද?  අඹු-සැමියන්, පෙම්වතුන්, පෙම්වතියන් කොයි කවුරුත් ඉඳ හිටලා බොරු කියනවා නේ ද? 'බොරු කිව්ව ම ඉතින් හැම බොරුවක් ම ඒ තරම් නරකයි කියන්නත් අමාරුයි.   සමහර වෙලාවට ණයට මුදලක් අසල්වැසියකුගෙන් ගත්තු බවත්, සීට්ටුවක් දාන බවත් සමහර ගෘහණියෝ සැමියට කියන්නෙ නෑ බණියි කියලා බයේ. සීට්ටුවක් දානෙත්, ණයට අතමාරුවක් ගනෙත් ගෙදර ම වැඩකට වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට සමාව දෙමුකො.

පොඩි එකා ඉස්කොලේ නො ගිහින් ගෙදර කට් දාලා ගෙදර හිටියා කියලා අම්මා තාත්තට කියන්නෙ නෑ තාත්තා ගහයි   කියලා. දරුවෙක් කා එක්ක හරි ප්‍රේම සම්බන්ධයක් තියනවා නම් දරුවට බණිනව "තාත්තා දැනගත්තොත් නං උඹව ඉතුරු කරන එකක් නෑ" කියලා. ඒත් තාත්තට කියන්නෙ නෑ දරුවට තරවටු කරයි කියලා.  ඉතින් මේ වගේ බොරු කිරීම් නං විවාහක ජීවිතයකට, ආදරයකට ඒ තරම් බාධාවක් වෙන්නෙ නැහැ. හේතුව එහි චේතනාව වංචා කිරීම නෙමේ හින්දා..  තව 'අහිංසක බොරු කියලා ජාතියකුත් තියෙනවා.

අපි ඒවට 'සුදු බොරු කියලත් කියනවා. ඒ බොරු ජාතිය පාවිච්චි කරන්නෙ කාටවත්රිදවන්න නෙමේ, විහිළුවට. ඒත් නැත්නම් සතුට, ළෙන්ගතුකම වැඩි කිරීමේ අදහසින්. උදාහරණවලින් ම කතා කරමුකෝ.  තමන් ආස කරන පත්තරයක් ගේන්න කියලා බිරිද සැමියට කියනවා. ඔහු පත්තරේ ගත්තත් පෙන්නනෙ නැහැ. ගෙදර ආ ගමන් පත්තරේ ගෙනාව ද කියලා ඇහුව ම "අනේ අනිත් සේර ම ගෙනාවා, පත්තරේ ගන්න අමතක වුණානෙ" කියනවා.

සමහර වෙලාවට ඒ බොරු 'ලව් ගෝරියක් ඇදගන්න. ඒත් ටිකකින් පත්තරේ දුන්නම බිරිඳට හරි සතුටුයි.

බිරිඳ ගෙදරට ගොඩවෙද්දි අරගෙන ආපු කිසියම් පාර්සලයක් හංග ගත්ත බව සැමියා දකිනවා. ඇහැවට නෑ, මුකුත් නෑ කියනවා.  සැමියට ටිකක් සැක හිතුණත් ඒ තරම් හාර අවුස්සන්නෙ නෑ කියමුකෝ. ඒත් කුතුහලයක් හිතේ හිටිනවා. පහුවදා උපන් දින තෑග්ගක් කියලා කමිසයක් දුන්නමයි සැමියා තේරුම් ගන්නෙ ඊයෙ හැගුවෙ මේයි කියලා. අන්න ඒ දේකිනුත් සතුට, ආදරය, ළෙන්ගතුකම වැඩි වෙනවා න්නේ ද?  ඉතින් ඒ වගේ සුදු බොරු, අහිංසක බොරු වලින් නම් වේදනාවන් ආදරයක් දෙදරා යාමක් වෙන්නෙ නැහැ.  ඒත් මොන ම හේතුවක්, මොන ම අරමුණක් ඇතුව හරි පෙම්වතාට/පෙම්වතියට, සැමියාට/බිරිඳට වංචා කරනවා නම්, සත්‍යය වසං කරනවා නම්, බොරු කියනවා නං ඒක ඉතා ම බරපතල වරදක් විතරක් නෙමේ කෙළවරක් දැකිය නො හැකි වේදනා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්.

බොහෝ අවස්ථාවල මෙහෙම එකිනෙකාට වංචා කරන්න සිදුවෙන්නේ රහස් ආදරයක්, නැත්තම් අසම්මත ළෙන්ගතුකමක් ඇති වුණාම. සැබෑ ආදර ජීවිතයකට අභියෝග කරමින් අසම්මත නොයෙකුත් අය වෙත හිත ඇදිලා යන්න ඉඩ තියෙන අවස්ථාවන් පෙම්වතුන්ටත්, විවාහක අයටත් ඕනැතරම් මුණ ගැහෙනවා. ඒත් ඇත්තට ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම දකින දකින කෙනාට හිත යනවා අඩුයි. කාන්දම් කෑලිවලට පුංචි පුංචි මලකඩ බෙලෙක් කෑලි ඇදිලා ආවට රත්තරන් ඇදිලා එන්නේ නෑනෙ. ඒ වගේ රත්තරන් ආදරයක් තියෙන අය කවදාවත් තමන්ගෙ ආදරවන්තයා/ආදරවන්තිය ඉන්නැද්දි වෙන අය වෙත ඇදිලා යන්නෙ නැහැ. 'මලකඩ හිත් තියෙන අය මිසක්. කෙසේ වෙතත් පණටත් වඩා ආදරේ කරන අහිංසක, අවංක හදවතක් තියෙන අය වුණත් සමහර විට එක හිතක් නැති වැනෙන හිත් තියෙන බොරුකාරයින්ට නො දැනුවත්ව ආදරේ වෙන අවස්ථාවල් තියෙනවා. එහෙම වුණා ම කවදා හරි දුක් වේදනාවක තනිවෙන්නෙ අර අවංක අහිංසක කෙනාමයි. බොරුකාරයො ගින්දර දීලා පැනලා යනවා.

ඔබත් ඔබේ ම හිත ගැන, ජීවිත රටාව ගැන ටිකක් හිතලා බලන්න. ඔබට ඇත්තට ම ආදරේ කරන පෙම්වත්තෙක්/පෙම්වතියක්, සැමියෙක්/බිරිඳක් ඉන්නවා නම් ඔබ ඔහුට වංචා කරන එක, බොරු කියන එක හරි ද? අනිත් එක බොරුවෙන් කවදා හරි ඇතිවිය හැකි මහා විනාශය ගැන ඔබ හිතුව ද? තමන්ගේ සැමියට, බිරිඳට වගේ ම දරුවන්ටත් විශාල ගින්දරක් දෙන බරපතල පව්කාරයෙක්, පව්කාරියක් වන බව මොහොතකටවත් හිතුව ද? දැන්වත් හිතන්න. ඔබට අහිංසකව ආදරේ කරන කෙනෙකුට වංචා කරනවා නම් ඔබ ඔහුව/ඇයව ටික ටික මරලා දාන මිනීමරුවෙක් හා සමාන බව හොඳට හිතට ගන්න.

සමහරු හිතන්නෙ අහුවෙන්නෙ නැතුව බොරු කීම, වංචා කිරිම වරදක් නෙමේ කියලා. එහෙම හිතන අයට හෘද සාක්ෂිය කියලා එකක් තියෙනව ද මන්දා? සැබෑ ආදරේ අඳුනන, ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් කවදාවත් බොරු කරන්න, වංචා කරන්න පෙළඹෙන්නේ නැහැ. මොන තරම් අවස්ථා තිබුණත් දැක්කත් නො  දැක්කත්, අහුවුණත් නැතත්, ළඟ හිටියත්, ඈතක හිටියත් ඇත්ත ආදරේට බොරුව, වංචාව අයිති නෑ. තමන්ට ම බොරු කරන්න කාටවත් බෑනෙ. තමා කරන වංචාවක් කියලා තමන්ගේ හිත දන්නවා.

ඇත්තට ආදරේ කරන කෙනෙක් නිතර ම හිතන්නේ අනිත් කෙනාගේ හිතෙන්. ඒ තරමට ඒ හිත් දෙක දෙකක් නෙමේ, දෙ තැනක නතර වුණු එක ම හිතක්. කොහොම ද එහෙම හිතකින් වංචා කරන්නෙ? . මෙන්න මේ තරම් තද බැඳීමකින් ඇත්තටම ආදරේ කරන කෙනෙකුට අනිත් කෙනාගෙ කිසියම් වෙනසක් වුණොත් 'ටග්ගාලා' තේරෙනවා. ඒක ආදරේ හැටි වෙන්න ඇති. ආදරේ වැඩි වන තරමට සැලකීම උනන්දු වැඩියි. ඔහු/ඇය ගැන කල්පනා කිරිම, සිහින මැවීම, තොරතුරු සෙවීම, පරිත්‍යාග කිරීම වගේ දේත් වැඩියි. ඒ නිසා ආදරය කරන අය සමහරවිට තම ආදවන්තයාගේ ඉසව්වෙ ඉදලා හමා එන සුළගටත් ආදරෙයි.

ඒ තරම් ගැඹුරු සැලකිලිමත් බවකින් ඉන්න කොට අනිත් කෙනාගෙ ඉරියව්වක හරි වෙනසක් දැක්කොත් ඒක තේරෙන එක පුදුමයක් නෙමේ. දුකෙන් ඉන්නවා නම්, ප්‍රශ්නයක් නම්, වරදක් කරලා නං, වංචාවක් කරලා නං, ඉතා සියුම් ඇස් පිල්ලමකින් හරි, මූණෙන් හරි, කතා කරන හැටියෙන් හරි ඒක බොහෝ අවස්ථාවලදී දැකගන්න පුළුවන්.

නූතන විද්‍යාවේ ප්‍රතිඵලයක් වශයෙන් 'ලයි ඩිරෙක්ටර් කියලා  ඇත්ත බොරුව සොයාගත හැකි යන්ත්‍රයක් දැන් නිපදවලා තියෙනවා. 'ප්‍රෙෂර් එක' බලනවා වගේ කෙනෙකුගේ සිරුරට සම්බන්ධ කළ  මේ කොම්පියුටර් යන්ත්‍රය ඉදිරියේ ඕනැ ම ප්‍රශ්නයක් ඇහුවම ඇත්ත ද, බොරු ද කියන්නෙ කියලා ඒ කොම්පියුටර් යන්ත්‍රය  සටහන් වෙනවා. මේක හදලා තියෙනෙ ශරිරයෙ ඇතිවන  ප්‍රතික්‍රියා, ලේ ගමන වගේ දේ ඉතා සියුම් ලෙස නිරික්ෂණය  කිරීමෙන්.

ඇත්ත කියද්දි ශරීරයේ වෙනස් වීම අඩුයි. බොරු කියද්දී  හිත, මොළය, ඇස්, කම්මුල්, තොල් වගේ සෑම අංගයක ම ඇතිවන  සියුම් විපර්යාස ලේ ධාවන වේගය යනාදියත් වැඩි වන නිසා ඒ  යන්ත්‍රයට ඇත්ත සැගවීම අමාරුයි. ලෝකයේ දරුණු අපරාධකරුවන් පවා මේ යන්ත්‍රය නිසා අදුනාගෙන තියෙනවා. ඉතින් 'ලයි ඩිරෙක්ටර් නැති වුණත් ආදරෙන් ඉන්න කෙනෙකුට අනිත් කෙනාගේ ඉරියව්, වෙනස්වීම් ඉතා සියුම් ලෙස තේරෙනවා.

වංචා කරන පෙම්වතා/පෙම්වතිය සමහර විට මේ පැත්ත ගැන හිතන්නෙ නෑ. හැමදාම වංචා කර කර වසං කරන්න පුළුවන් කියලා හිතනවා. කෙසේ වෙතත් අහු වෙනවට බයේ වංචා නො කර ඉන්න එක නියම ආදරේ නෙමේ. මොන තරම් අවස්ථාව තිබුණත් බොරු නො කියා, බොරු නො කර අවංකව සිටීමයි ඇත්ත ආදරය කියන්නේ.  අනිත් එක බොරුවක් ආරක්ෂා කිරිම කොයි තරම් අමාරු වැඩක් ද? තමන් ම තමන්ගෙ කටින් වුණත් කොයි වෙලේ තමාගේ වංචාව එළි කරයි ද කියන්න බැහැ. එක බොරුවක් කිව්වම ඒක වහන්න තව බොරුවක් ඕනැ. ඒක වහන්න තව එකක්. ඔය වගේ  දිගට ම බොරු කියාගෙන කියාගෙන ගියා ම මොන බොරුව ද කිවෙ කියලා මතක නෑ. ඉතින් අහම්බෙන් හරි පරස්පර විරෝධී  දේවල් කියවුණොත් පෙම්වතාගේ සාධාරණ සැකයක් ඇතිවෙලා දිගින් දිගට ම ඒ සැකය පිළිකාවක් වගේ ඔඩු දුවන්න ඉඩ තියෙනවා. ඇත්තෙන් ම ඔබ වංචාකාරයෙක්, වංචාකාරියක් කියලා ඔහුට සැකයකින් තොරව ඔප්පු වුණොත් එහි ප්‍රතිඵලය මොන වගේ ද කියලා ඔබට හිතාගන්න පුළුවන් ද?

සමහරවිට ආදර සම්බන්ධය එතනින් ම ඉවරයි. සමහර විට ඔහු/ඇය ඔබට ශාප කරාවි, ඔබව පිළිකුල් කරාවි. මේ තරම් අවංකව ආදරේ කළ මට වංචා කළානෙ කියලා හිතාවි. ජීවිතේ ඇති තුරා ඔබටත් ජීවිත කාලයක් විඳවන්න වේවි. වංචා කිරීමේ පාපයට ඔබ ගෙවන විශාල ම වන්දිය ඔහුගේ/ඇයගෙ රත්තරන් ආදරය ඔබට අහිමි වී යාමයි. ඇත්තෙන් ම ඔබ වංචාකරුවෙක් නම් ඒ වගේ අහිංසකයෙකුගෙ රත්තරන් ආදරයක් ඔබට උරුම නෑ. ටික කලකට හරි ඒ ආදරේ ලැබුවා නං ඔබ පිං දෙන්න ඕනෑ.

සාමාන්‍යයෙන් ඔබ පුරුද්දක් වශයෙන් බොරු කරන, පෙම්වතුන් රවටන කෙනෙක් නම් ඔබට කවදාවත් ආදරයක් ලැබෙන්නෙත් නැහැ, සතුටින් ඉන්න ලැබෙන්නෙත් නැහැ. හිටියත් කකුළුවා වතුර උතුරන තුරු හැලියේ සතුටින් සිටියා වගේ තමා ඉන්න වෙන්නේ. ඊට පස්සෙ මානසික වේදනාවක තනි වී මිය යන්න තමා වෙන්නේ.  අනිත් එක අනුන්ට ගින්දරක් දුන්නොත් තාවකාලික සුවයක් ලැබුණා වුණත් ඒ ගින්දර කවදා හරි තමන්ටත් එනවමයි. ඒක ලොක  ධර්මතාවක්. ඉතින් ඔබ බොරු කළා නම්, වංචා කළා නම් ඒ කියන්නෙ ඔබ ඔබට ආදරේ කළ කෙනාව වේදනාවට ඇද දැමීමත්, ගින්දරක් දීමත් තදබල අපරාධයක්. නීතියෙන් නම් බේරෙයි. ඒත් ඔබේම අවංක හිතෙන් ඔබට ගැළවීමක් ලැබෙන්නෙ නෑ.

ඉතින් ඔබ ඔබේ පෙම්වතාට, සැමියට, බිරිඳට වංචා කරන කෙනෙක් නම් දැන්වත් ඒ අපරාධ සිතුවිලිවලින්, ක්‍රියාවලින් සමුගන්න.  සමහර විට පුංචි පුංචි තාවකාලික වංචා කරන අයත් ඉන්නවා. මඟුල් ගෙදරක දී, පාටියක දී, නැත්නම් මග තොටක දී, බස් එකේ දී, දුම්රියේ දී වුණත්, දෑසින් සංඥා හුවමාරු කිරිමෙන් වුණත් පෙම්වතාට, සැමියට, බිරිඳට හොරෙන් බොරු කරන්න පුළුවන්. අහු නො වෙන්න පුළුවන්. ඒත් ඔබ වැරදිකරුවෙක් බව හිතට එකගව පිළිගන්න.

   ඉතින් මේ කරුණු ටික හොදින් මතක තියාගන්න. ඔබ ඔබේ  ආදරවන්තයාට/ආදරවන්තියට බොරු කරන කෙනෙක් නම් ඔබ තවමත් ඔහුට/ඇයට අහු නො වුණත් කවද හරි අහුවෙන බව හිතන්න. ඔබ කරන කම්බියක් දිගේ ගගක් හරහා යනවා වගේ අවදානම් වැඩක්. බොරුවට ආයුෂ නැහැ. බොරු වින්දනයක්, "ත්‍රිල් එකක්” ඔබේ ‘හොර වැඩ' නිසා ඔබ ලබනවා විය හැකියි.


නමුත් කවද හරි ඔබට එකට වන්දි ගෙවන්න වෙනනෙ පොල එක්ක එන විශාල වේදනාවකින්. වංචාව වරදක්, පාපයක්. විශේෂයෙන් ඔබට අවංකව පණ  ඇරගෙන ආදරය කරන කෙනෙකුට ද්‍රෝහි වෙන එක සමාව දෙන්න  බැරි කුරිරු වැඩක්. ආදරේ කරන කෙනෙකුට බොරු කරලා  රවට්ටනවට වඩා හොඳයි ඔහුව/ඇයව එකවර මරලා දාන එක. ආදරේ කරන කෙනෙක් ද්‍රෝහි වුණොත් ඇතිවන වේදනාව ඒ තරම් ම දරුණුයි. විදව ගන්න බැරි තරම්.   ඉතින් මතක තියාගන්න.

ඇත්තටම ආදරේ කරන කෙනෙක් කවදාවත් වංචා කරන්නෙ නැහැ නෙමේ වංචා කරන්න බැහැ. කොහොම ද මොන හිතකින් ද එහෙම කරන්නෙ? ආදරේ නම් වංචා කරන්නත් බෑ, ඒ වගේ ම වංචා කරනවනං ආදරේකුත් නෑ.  ඒ හින්දා නීතියෙන් බේරුණත් නො තේරෙන ඔබට ඔබේ පෙම්වතිය පෙම්වතා නුසුදුසුයි නම් වහා ම ඔහුගෙන්/ඇයගෙන් සමුගන්න. ඔහුව/ඇයව මරනවට වඩා ඒක හොඳයි. ඔබ  වංචාකරුවෙක් නම් ඔහු/ඇය ඔබට ශාරීරික විනාශයක, අනතරක් නො කර සමුගෙන ගියා නම් වාසනාවන්තයෙක්. දඬුවමක් නැතුව බේරුණු අපරාධකරුවෙක්.  ඉතින් එක්කෝ ඔබ වංචාවෙන් සමුගන්න. නැත්නම් ඔබේ ආදරවන්තයාගෙන්/ ආදරවන්තියගෙන් සමුගන්න. ආදරයත්, වංචාවත් කවදාවත් එක තැන තියෙන්න විදිහක් නෑ..


උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු