dimuth-karunaratne-bids-farewell-to-australia-with-family-after-100th-test-match

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ප්‍රවීණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට පෙබරවාරි 6 වන දින ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත.



වයස අවුරුදු 36ක් වන දිමුත් කරුණාරත්න සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය 100 වන ටෙස්ට් තරගයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. මෙතෙක් ඔහු ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ලකුණු 7,172ක් රැස් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටියි.

2012 වසරේදී ආරම්භ කළ සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් වාර්තා කර ඇති දිමුත්, ශ්‍රී ලංකාවේ සාර්ථකතම ටෙස්ට් ආරම්භක පිතිකරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගෙන සිටී. විශේෂයෙන්ම 2015 වසරෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු, ටෙස්ට් තරගවල දෙවන ඉනිමේදී ශතක ලබා ගැනීමේ විශිෂ්ට හැකියාවක් පෙන්නුම් කළේය.

ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව සිය ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න පැවසුවේ, "මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වීමට සුදුසුකම් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. පුහුණුකරුවෙකු සඳහා ලෙවල් 2, 3, 4 සුදුසුකම් අවශ්‍ය වෙනවා. ඉන් ලෙවල් 2 සහ 3 ඔස්ට්‍රේලියාවේදී හැදෑරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.

තවද, ඔහු වැඩිදුරටත් පැවසුවේ "ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටි දීර්ඝ කාලයෙන් පසු, මගේ දෙමාපියන් සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට කැමැත්තෙන් සිටිනවා.

ඉන් අනතුරුව මගේ දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණුව වෙනුවෙන් යොදවීමට අදහස් කරනවා. අවුරුදු 3-4කට පසු පුහුණුකාරිත්වය පූර්ණකාලීනව ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ දිමුත් කරුණාරත්න සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නේ ඔහුගේ හොඳම කාලයේදී බවයි. මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේ දිමුත්ගේ අවසන් ටෙස්ට් තරගය නැරඹීම සඳහා ගාල්ල ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසයි.

ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට පෙර දිමුත් තවත් එක් සුවිශේෂී අවස්ථාවකට සහභාගී වීමට නියමිතය. ඒ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පෙබරවාරි 14 සිට 16 දක්වා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන එන්.සී.සී. කණ්ඩායමට එරෙහි තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරමින් සිය අවසන් පළමු පෙළ තරගයට ක්‍රීඩා කිරීමටය.



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ටෙස්ට් කණ්ඩායමට තේරී පත්වූ අවස්ථා තුනක් ඇතුළු සුවිශේෂී වාර්තා රැසක් හිමිකරගත් දිමුත් කරුණාරත්න, 2019 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්විය. එම වසරේම ලෝක කුසලාන තරගාවලියට පෙර එක්දින කණ්ඩායමේ නායකත්වයද ඔහු වෙත පැවරිණි. 2019 සිට 2023 දක්වා කාලය තුළ ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කළ අතර, ඉන් ජයග්‍රහණ 12ක් ලබා ගැනීමට සමත් විය.

දිමුත් කරුණාරත්න එක්දින ජාත්‍යන්තර තරග 50කට සහභාගී වී ලකුණු 1,316ක් රැස් කර ඇති අතර, එහිදී එක් ශතකයක් සහ අර්ධ ශතක 11ක් වාර්තා කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ටෙස්ට් ලකුණු ලබන්නා ලෙස වාර්තා පොත් සටහන් කරන අතර, ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් පමණි.

මෙම විශිෂ්ට ක්‍රීඩකයාගේ සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එක් යුගයක නිමාව සනිටුහන් කරන අතර, ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදාකාලිකව සටහන් වනු ඇත.