british-ebony-instagram-star-dies-after-being-bitten-by-bedbugs-at-colombos-entrance-hall

කොළඹ කොල්ලුපිටියේ පිහිටි මිරකල් සිටි නම් නවාතැන් පොළේ කාමරයක බ්‍රිතාන්‍ය ජාතික සහ ජර්මානු ජාතික තරුණියන් දෙන්නෙකු පසුගියදා මියගිය අතර මකුණන් මර්දනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක හේතුවෙන් ඔවුන් මියයන්නට ඇතැයි අනුමාන කෙරිණි.
එක්සත් රාජධානියේ ඩර්බි නුවරින් පැමිණි වයස අවුරුදු 24ක් වූ එබනි මැකින්ටොෂ් නම් තරුණිය මෙලෙස මියගොස් ඇති බව දැන් අනාවරණය වන අතර ඇය සමාජ මාධ්‍ය තුළ බලපෑම්කාරී ජනප්‍රිය චරිතයක් බව දැන් වාර්තාවෙයි.
ඇය දකුණු ආසියාවේ සංචාරයක නිරත වීමේ සිහිනයක සිටි බවත් එය සැබෑ කර ගැනීම සඳහා පසුගිය ජනවාරි 28 වන දින පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් ඇය වෙනුවෙන් සටහන් තබා ඇති ඇගේ නැගණිය හෙළිදරව් කර තිබේ. කෙසේ වෙතත්, ඇයගේ සංචාරයේ හතරවන දිනයේදී, එනම් පෙබරවාරි 1 වන සෙනසුරාදා, ඇය ඇතුළු තවත් නවාතැන්කරුවන් කිහිප දෙනෙකු වමනය, ඔක්කාරය සහ ආශ්වාස ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර ඇත.



මිරකල් කොළඹ සිටි නම් එම නවාතැන් පොළේ රැඳී සිටි එබනි සහ නම සඳහන් නොකළ ජර්මානු කාන්තාව එකම කාමරයේ නවාතැන් ගෙන සිට ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමෙන් පැය කිහිපයකට පසු මියගොස් තිබේ. පරීක්ෂකවරුන් විසින් දැනට නවාතැන් පොළ වසා දමා ඇත.

මෘත පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නොමැති නමුත්, මාධ්‍ය වාර්තා අනුව, මෙම මරණ සිදුවීමට පැය 72කට පෙර අසල කාමරයක මකුණන් මර්ධනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක විෂ වායු හේතු වී ඇති බවට සැක කෙරේ.

එබනිගේ සහෝදරිය වන ඉන්දියා, සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ සහෝදරියට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙමින්, "මගේ එබනි, මගේ ලස්සන සහෝදරිය, මට වැඩිමහල් සහෝදරියක් වීම ගැන ස්තූතියි. මට ලැබිය හැකිව තිබූ හොඳම සහෝදරිය ඔබයි," යනුවෙන් සඳහන් කර ඇත.

ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් 10,000ක් සිටි එබනි, මෝස්තර සහ සංචාරක අත්දැකීම් පිළිබඳව නිරතුරුව පළ කිරීම් සිදු කර ඇත. ඇයගේ පවුලේ සාමාජිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ ඇයගේ දේහය ආපසු රැගෙන යාමට උපකාර කිරීම සඳහා ඉන්දියා විසින් GoFundMe අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇත. මේ වන විට පවුම් 22,000ක ඉලක්කයෙන් පවුම් 20,000කට වැඩි මුදලක් රැස්කර ඇත.



අරමුදල් රැස්කිරීමේ පිටුවේ ඉන්දියා මෙසේ ලියා ඇත: "ජනවාරි 28 වන අඟහරුවාදා, එබනි හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේ දකුණු ආසියාව පුරා සංචාරය කිරීමේ ඇයගේ සිහිනය සැබෑ කර ගැනීමටයි. ඇය සාමාන්‍යයෙන් කරන ආකාරයට, මාස ගණනාවක් තිස්සේ පර්යේෂණ කර, සැලසුම් සකස් කර, ඉදිරි මාස සඳහා කාලසටහන් පිළියෙල කර තිබුණා."

ශ්‍රී ලංකා අධිකාරීන් විසින් සම්පූර්ණ මෘත පරීක්ෂණයක් අවසන් වන තෙක් එබනිගේ දේහය නිදහස් කළ නොහැකි බවත්, ඇයගේ මරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවත් ඇය පවසයි.

"අපේ ලස්සන එබනි එක්ක හැකි ඉක්මනින් සිටීමට අපට අවශ්‍යයි. විදේශ රටක තනිවම සිටීම ගැන සිතන විට අපි වේදනාවට පත් වෙනවා. ඇයව ආරක්ෂිතව ගෙදර ගෙන ඒමට අපට අවශ්‍යයි. අපේ දේවදූතියාව රැක බලා ගැනීමට පමණයි අපට අවශ්‍ය," යැයි ඇය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අතර, මෘත පරීක්ෂණ වාර්තාව මගින් මරණයට හේතුව තහවුරු කෙරෙනු ඇත.