
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් කර ඇති නිර්දේශයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්රමුඛ පිරිසක් අද (06) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
මෙම විරෝධතාවයට මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු සැලකිය යුතු පිරිසක් සහභාගී වූ අතර, විරෝධතාකරුවන් විසින් නීතිපතිවරයාට ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාර දීමට උත්සාහ දැරීය. කෙසේ වෙතත්,
මුලදී පොලීසිය විසින් එය වැළැක්වූවද, පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත නිලධාරියෙකු වන කණිෂ්ක රාජකරුණා මහතා විසින් එම ලිපිය භාරගන්නා ලදී.
2009 වසරේ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේ ගැටලුසහගත කරුණු මතුකරමින් පැවැත්වූ මෙම විරෝධතාවයේදී, විරෝධතාකරුවන් නීතිපතිවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි අතර, නඩුවේ ප්‍රධාන සැකකරුවන් නිදහස් කිරීමේ තීරණය පිළිබඳ විනිවිදභාවයක් ද ඉල්ලා සිටියහ.
පසුගිය ජනවාරි 27 වන දින නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂවරයා වෙත යොමු කළ ලිපියකින් දන්වා ඇත්තේ නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් නොගන්නා බවයි.
මෙය සැකසහිත තීරණයක් බව විරෝධතාකරුවන්ගේ අදහසයි.
මෙලෙස නඩු නිමිත්තක් නැතැයි දැන්වූ තිදෙනාට මින් ඉහත නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා රැසක් ඉදිරිපත්කර තිබූ අතර හදිසියේ ඔවුන් නඩුවෙන් ඉවත් කිරීම ගැටලුකාරී විය.
මේ සම්බන්ධයෙන් වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ලසන්ත වික්රමතුංගගේ දියනිය අහිම්සා අගමැතිතුමියට ලිපියක් යොමුකර සිය කණස්සල්ල පළකර ඇති අතර නීතිපතිවරයා පක්ෂපාතී බැවින් දෝෂාභියෝගයක් ගෙන එන ලෙසද ඉල්ලා තිබේ.
එසේම නව රජය බලයට පත්වූ පසු බලපිටිය සිද්ධිය,මහර බන්ධනාගාර සිද්ධිය හා තරුණයින් 11 දෙනෙකු සුදුවෑන් මගින් පැහැරගෙනයාම වැනි සිද්ධි සම්බන්ධයෙන් කිසියම් අදිසි බලවේගයක් මත නීතිපතිවරයා තීන්දු තීරණ ගෙන ඇතැයිද විරෝධතාවයේදී කරුණු පළ විය.
වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර ලසන්ත වික්‍රමතුංග නඩුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval