
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද සවස හදිසි ගින්නක් ඇති වී තිබේ. 35 වන මහලෙන් ආරම්භ වූ මෙම ගින්න මහල් හයක් පුරා පැතිර ගොස් ඇති අතර, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ එය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙති.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා ඇති පරිදි, සවස 7.42ට පමණ වාර්තා වූ මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ අටක් සහ ජල බවුසර් යොදවා ඇත. ගින්නෙන් තිගැස්මට පත් ප්‍රදේශවාසීන් සහ මගීන් විශාල පිරිසක් කොටු ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම සිදුවීම නිරීක්ෂණය කරනු දක්නට ලැබිණි.
වාර්තා වන ආකාරයට ගින්න ආරම්භ වී ඇත්තේ 35 වන මහලේ කොන්ක්‍රීට් ව්‍යුහයන් සහ බිත්ති බෙදීම් සඳහා භාවිතා කර ඇති හාඩ්බෝඩ් ගොඩක් ආශ්‍රිතවයි. එම ගින්න පහළ මහල් පහක් දක්වා පැතිර ගොස් ඇති අතර, මහල් 60 කින් යුත් මෙම අති උස ගොඩනැගිල්ලේ ඉහළ කොටසින් නැගෙන ගිනි දැල් කොළඹ කොටුවේ සිට පැහැදිලිව දැක ගත හැකි විය.
ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ (පුද්) සමාගමට අයත් මෙම රිට්ස් කාල්ටන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මැද අතරමග නතර කර දමා ඇති අතර, එය 2015ට පෙර රාජපක්ෂ පාලන සමයේ දේශපාලන දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනාවලට මුල් වී ඇති ගොඩනැගිල්ලකි.
මෙම සිදුවීමට සමගාමීව තවත් වැදගත් කරුණක් ද මතුව තිබේ. රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා යැයි පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී ලෙස අවභාවිතා කිරීමේ චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
එම සංසිද්ධිය හා ගින්න අතර සම්බන්ධයක් එක්වරම හඳුනාගත නොහැකිය.
ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමේ නිරත ගිනි නිවන භටයින් 30කට අධික පිරිසක් දැඩි උත්සාහයක නිරත වන අතර, තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ගින්නට හේතුව සහ සිදුව ඇති හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval