in-the-case-of-a-new-lawsuit-theprocedure-has-changed

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ චෝදනා මත රඳවා සිටින සැකකරුවන්ගේ නඩු කටයුතු අධිකරණයෙන් බැහැරව පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි. මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඊයේ (19) දින සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුවය.



අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. අධිකරණ පරිශ්‍රය තුළ ගිනි අවි භාවිතය සඳහා ආරක්ෂක නිලධාරීන්ට අවසර නොමැති වුවද, නිසි ආරක්ෂක විධිවිධාන යොදා තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



"අධිකරණ පරිශ්‍රයට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ යම් අඩුපාඩු තිබුණා නම්, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට අප විශේෂ අවධානය යොමු කරනවා," යැයි විජේපාල මහතා පැවසීය. බුද්ධි අංශවලින් ලැබෙන තොරතුරු මත පදනම්ව මහජන ආරක්ෂක සැලසුම් වඩාත් ශක්තිමත් කිරීම තම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බව ද ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අධිකරණයට සැකකරුවන් ඍජුව රැගෙන ඒම වැළැක්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් නඩු විභාග පැවැත්වීමට හැකි වන පරිදි නව පනතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අධිකරණ ක්‍රියාවලියේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම, නඩු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යවරුන් දෙපළම අවධාරණය කළහ.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි යැයිද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අධිකරණයේ වූ  අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.



ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.

මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය මෙරට අධිකරණ පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ නව සංවාදයක් ඇති කර ඇති අතර, මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව රජය විශේෂ අවධානය යොමු කර ඇත.