there-are-no-relatives-who-can-identify-sanjeeva-the-post-mortem-examination-is-delayed

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න ගනේමුල්ල සංජීවගේ මෘත දේහය හඳුනාගැනීම සඳහා ඥාතීන් කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ.
සාමාන්‍යයෙන් පාතාල අපරාධකරුවන්ගේ ඥාතී ඇතැමුන් ඥාතීත්වය හෙළිකිරීම සාමාජීය වශයෙන් අපකීර්තියට හේතුවන නිසා ඇතැම්විට පාතාල අපරාධකරුවන් සමග නෑකම් පවත්වන්නට මැළිකමක් දක්වයි.



කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියගේ නියෝගය පරිදි ඊයේ (පෙබරවාරි 19) දින පැවැත්වීමට නියමිතව තිබූ මරණ පරීක්ෂණය අද (පෙබරවාරි 20) දක්වා කල් තැබීමට සිදුවිය. කෙසේ වෙතත්, අද දින වන විටත් මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගැනීම සඳහා කිසිදු ඥාතියෙකු ඉදිරිපත් නොවීම කැපී පෙනෙන කරුණකි.
මිනුවන්ගොඩ පදිංචි ගනේමුල්ල සංජීවගේ සහෝදරිය ඉදිරිපත් වන බවක් වාර්තාවූ නමුත් ඇයගේ වාසගමේ පවතින වෙනස්වීමක් හේතුවෙන් ඇයට මෘත දේහ භාර නොදුන් බව පොලිසිය කියයි.

ගනේමුල්ල සංජීවගේ බිරිඳ සිටියද ඇය මෙතෙක් ඉදිරිපත් නොවූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මහෙස්ත්‍රාත්වරිය විසින් පොලීසියට විශේෂ නියෝගයක් නිකුත් කරමින් මියගිය සංජීව කුමාර සමරරත්නගේ පවුලේ සාමාජිකයින් හෝ ඥාතීන් සොයා ගැනීමට හා ඔවුන් අධිකරණය වෙත කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ. මෙම නියෝගය මගින් මරණ පරීක්ෂණ කටයුතු නීත්‍යානුකූලව ඉදිරියට ගෙන යාමට මග පෑදෙනු ඇත.



පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 අධිකරණ ශාලාව තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ගනේමුල්ල සංජීව මියගොස් තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුනාගෙන සිටි ඔහු විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට සහභාගී වීම සඳහා එදින අධිකරණයට පැමිණ සිටියේය.

මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පෙර මෘත දේහය ඥාතීන් විසින් හඳුනාගත යුතු බවට නීතිමය අවශ්‍යතාවයක් පවතී. මෙම හඳුනාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීම හේතුවෙන් ඉදිරි නීතිමය කටයුතු අවහිර වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ඥාතීන් ඉදිරිපත් වන තෙක් මෘත දේහය රජයේ ශරීර විච්ඡේදාගාරයේ තැන්පත් කර තැබීමට නියමිත අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටී.